ඇමෙරිකන් ජනපති ජෝ බයිඩන් වැටිලා



ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පය පැටලී ඇද වැටුණේය. බයිඩන් මෙම අකරතැබ්බට මුහුණ පෑවේ, කොලරාඩෝ නාවික හමුදා කඳවුරේ පැවැති, නාවික හමුදා උපාධි ප්‍රධානෝත්වයකට සහභාගී වෙමින් සිටිද්දීය.

එළිමහන් වේදිකාවක උපාධි ප්‍රදානය සිදුවිය. උපාධි ප්‍රධානය සිදුවූයේ ජනාධිපති බයිඩන් අතිනි. උපාධි ප්‍රදානය අවසන් කළ බයිඩන්, එතැනින් නික්ම යද්දී පය පැටලී ඇද වැටෙයි. ඇමෙරිකන් ජනාධිපතිවරයාගේ එම ඇද වැටීම විදෙස් මාධ්‍යවල ප්‍රමුඛ පුවත බවට ද පත් විය.

ආරක්ෂක අංශ නිලධාරීහු වහා පැමිණ බයිඩන්ට නැගිටීමටත්, පසුව අසුන් ගැනීමටත් උදව් කරන අයුරු එම වීඩියෝ දසුන්වල දැකිය හැකිය. 80 හැවිරිදි බයිඩන්, ඇමෙරිකන් ජනාධිපති ධුරය හොබවන වයස්ගතම පුද්ගලයාය.

ඇද වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් ධවල මන්දිරය පසුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ බයිඩන් හොඳින් සිටින බවත්, තුවාලයක් සිදු නොවුණු බවත්ය.

පය පැටලී ඇද පැටීමට පෙර බයිඩන් පැයක් පමණ සිටගෙන සිටි බවත්, ඔහු නාවික හමුදා කැඩෙට් භටයන් 921 දෙනකුට උපාධි ප්‍රදානය කළ බවත් ධවල මන්දිරය පවසා තිබේ.

‘වේදිකාවේ වැලි කොට්ටයක් තිබුණා. ජනාධිපති බයිඩන් පය වැටුණේ එම වැලි කොට්ටය නොදුටු නිසයි.’ යැයි ධවල මන්දිර සන්නිවේදන කටයුතු ප්‍රධානී බෙන් ලාබෝල්ට් පසුව මාධ්‍ය හමුවේ පැහැදිලි කිරීමක් ද කළේය.

බයිඩන්ගේ කොඳු ඇට පේළියට සම්බන්ධ මාංශපේෂීන්ගේ ඉරී යෑමක් ඇති බව වෛද්‍යවරුන් පැවැසුවේ 2021 වසරේදීය. ඔහුගේ එක් පාදයක ස්නායු ආබාධයක් ද තිබේ. ධවල මන්දිර වෛද්‍යවරුන් මේ සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන බවද වාර්තා වේ.

පසුගිය කාලයේ අවස්ථා ගණනාවකදී ගුවන් යානයට ගොඩවීමේ  දී බයිඩන් පය පැටලී ඇද වැටුණු අවස්ථා ද තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS