ඇමෙරිකන් කතානායකයා ධුරයෙන් නෙරපන්න හදයි



ඇමෙරිකන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායක කෙවින් මැකාති එම ධුරයෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව මාධ්‍ය වාර්තා කරයි.

ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලය (පාර්ලිමේන්තුව) නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් සහ සෙනෙට් මණ්ඩලයකින් සමන්විතය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ප්‍රතිවාදී රිපබ්ලිකන්වරුන් අතරේය.

සෙනෙට් මණ්ඩලයේ බහුතරය ඇත්තේ වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ගේ ඩිමොක්‍රටික් පක්ෂය සතුවය. බයිඩන් ප්‍රමුඛ රජය අණ පනත් සම්මත කර ගැනීමේ දී නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ රිපබ්ලිකන්වරුන්ගෙන් ඊට බාධා එල්ල වෙයි.

කතානායක කෙවින් මැකාති රිපබ්ලිකන් ප්‍රබලයෙකි. ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයක් ආරම්භ කර ඇත්තේ කැරැලිකාර රිපබ්ලිකන්වරුන් කණ්ඩායමකි. එම කණ්ඩායමට නායකත්වය දෙන්නේ මැට් ගේට්ස්ය. ගේට්ස් ප්‍රමුඛ එම කැරැලිකාර රිපබ්ලිකන් කණ්ඩායම, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හිතවාදීන්ය. රිපබ්ලිකන් ප්‍රබලයකු වන ට්‍රම්ප්, 2024 වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් වන ප්‍රබලතම රිපබ්ලිකන් අපේක්ෂකයාය.

කැරැලිකාර කණ්ඩායම පවසා ඇත්තේ කෙවින් මැකාති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවක් කොංග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවය. ඇමෙරිකන් දේශපාලන ඉතිහාසයේ කිසිදු කතානායකවරයකු කිසිදු යෝජනාවකින් ඉවත් කර නොමැති බව ද ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

කතානායක කෙවින් මැකාතිධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව ඉදිරි දින කීපය ඇතුළත නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව  මැට් ගේට්ස් මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

ඇමෙරිකන් රජයේ කටයුතු කරගෙන යෑමට අවශ්‍ය අරමුදල් වෙන් කර ගැනීමට නොහැකි වීමෙන් පසුගිය සති අන්තය වනවිට රජය අකර්මණ්‍ය වීමේ අවදානමක් මතු විය. කෙසේ නමුත් රිපබ්ලිකන්වරුන් සමඟ තාවකාලික එකඟත්වයක් ඇති කර ගැනීමට ජනපති බයිඩන්ගේ ඩිමොක්‍රටික්වරු සමත් වූහ.

ඇමෙරිකන් ව්‍යවස්ථාව අනුව, ජනාධිපතිවරයාට යම් අනතුරක් වුවහොත් හෝ ඔහු ධුරයෙන් ඉවත් කළොත් හෝ ඉවත් වීමට සිදුවුවහොත් හෝ ජනාධිපති ධුරය හිමිවන දෙවැනි උප ජනාධිපතිවරයාය. උප ජනාධිපතිවරයාට පසුව සිටින්නේ ඇමෙරිකන් කතානායකවරයාය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS