ඇමෙරිකන් කතානායක ධුරයෙන් නෙරපයි



ඇමෙරිකන් කොංග්‍රසයේ (පාර්ලිමේන්තුවේ) නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩල කතානායක රිපබ්ලිකන් පාක්ෂික කෙවින් මැකාතිට සිය ධුරය අහිමි විය.

ඒ, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සෙසු රිපබ්ලිකන් සාමාජිකයන්, මැකාති කතා නායක ධුරයෙන් ඉවත් කිරීමට ඉදිරිපත් කළ යෝජනාවෙන් මැකාති පරාජය වූ බැවිනි. ඇමෙරිකන් කතානායකවරයකු මෙසේ ධුරයෙන් ඉවත් කළ පළමු අවස්ථාව මෙයයි.

නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය ඇත්තේ ප්‍රතිවාදී රිපබ්ලිකන්වරුන් සතුවය. සෙනට් මණ්ඩලයේ බහුතරය ඇත්තේ ජනාධිපති ජෝ බයිඩන්ගේ ඩිමොක්‍රටික්වරුන් සතුවය.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ රිපබ්ලිකන්වරුන් අට දෙනකු සහ සියලුම ඩිමොක්‍රටික්වරු, මැකාතිට එරෙහි යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන්හ. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඩිමොක්‍රටික්වරුන් ගණන 208 කි. යෝජනාවට පක්ෂව, මැකාති ධුරයෙන් ඉවත් කිරීමට ඡන්දය දුන් පිරිස 216 කි.

කතානායක ලෙස කෙවින් මැකාති ගත් තීන්දු තීරණ, රිපබ්ලිකන්වරුන් අප්‍රසාදයට පත්වීම, ඔහුට විරුද්ධව යෝජනාවක් ගෙන ඒමට හේතුව වී තිබුණි.

මැකාති ධුරයෙන් ඉවත් කිරීමට යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ රිපබ්ලිකන් පාක්ෂික ෆ්ලොරීඩා කොංග්‍රස්සභික මැට් ගේට්ස් ප්‍රමුඛ කැරැලිකාර රිපබ්ලිකන්වරුන් කණ්ඩායමය. ගේට්ස්, හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ සමීපතමයෙකි.

කෙවින් මැකාති ධුරයෙන් නෙරපා හැරීමෙන් පසු, ඇමෙරිකන් ව්‍යවස්ථාවට අනුව, කතානායක ධුරයට පත්වූයේ උතුරු කැරොලිනා ජනපදයේ රිපබ්ලිකන් පාක්ෂික මැටි්‍රක් මැක්හෙන්රිය.

නව කතානායකවරයකු තෝරා ගැනීම සඳහා නියමිත කාලයේ දී ඡන්දයක් පැවැත්වෙනතුරු මැක්හෙන්රි නාමික කතානායකවරයකු ලෙස කටයුතු කරනු ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය පවසයි.


RECOMMEND POSTS