ආසියානු කලාපයේ මිලියන 600 කට එන්නත්



ශ්‍රී ලංකාව ද ඇතුළුව දකුණු හා නැගෙනහිර ආසියානු කලාපයේ මිලියන 600කට වැඩි පිරිසකට ‘කොවිඩ්-19’ මර්දන එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලබා දී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

විවිධ ජාත්‍යන්තර සංවිධාන භූදේශපාලන පිහිටීම සහ කළමනාකාරීත්වයේ පහසුව වෙනුවෙන් කලාප බෙදීමක් කරන අතර ලෝක සෞඛ්‍ය සංවිධානය ද සිය කළමනාකරණ පහසුව සඳහා කලාප බෙදීමක් සිදු කර ඇත.

ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය දකුණු හා නැගෙනහිර ආසියානු කලාපය යනුවෙන් කලාපයක් නම් කර ඇත.

බංග්ලාදේශය, භූතානය, උතුරු කොරියාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, මාලදිවයින, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව, තායිලන්තය, ටිමෝර් ලෙස්තේ සහ සිංගප්පූරුව යන රටවල් එම කලාපයට අයත් වේ.

අගෝස්තු 6 වැනිදා වනවිට මෙම කලාපයේ තුළ ජනතාවට ලබා දී ඇති එන්නත් මාත්‍රා ප්‍රමාණය මිලියන 618.5ක් යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. ඊට අමතරව මිලියන 146 දෙනකු ‘කොවිඩ්-19’ මර්දන එන්නත්වල මාත්‍රා දෙකම ලබාගනිමින් සම්පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇතැයි ද එම සංවිධානය කියයි.

ඉන්දියාව මේ වනවිට එන්නත් මාත්‍රා මිලියන 489ක් ලබා දී ඇතැයි ද ඉන්දියාව එක් අවස්ථාවකදී දිනක් තුළ එන්නත් මාත්‍රා මිලියන 8.6ක් ලබාදුන් බව ද එම සංවිධානය පවසයි.

ඉන්දියාව මේ වසර මුලදී සිය එන්නත්කරණ වැඩසහටන ආරම්භ කළ අතර එරට තුළ දෙවැනි රැල්ල පැතිර යෑමට පටන් ගැනීමත් සමඟ එන්නත්කරණ වැඩසටහන අඩපණ විය.

කෙසේ නමුත් ඉන්දියාව ඉකුත් ජූනි මාසයේ දී සිය එන්නත්කරණ වේගවත් කිරීමට පියවර ගත්තේ ය. එතැන් පටන් මේ දක්වා සාර්ථකව එන්නත්කරණය කරගෙන යෑමට ඉන්දියාව සමත්ව ඇත.

මෙම කලාපයේ මුලින්ම එන්නත්කරණ වැඩසටහන ආරම්භ කරන ලද්දේ ඉන්දුනීසියාවයි. ඉන්දුනීසියාව මේ වනවිට එන්නත් මාත්‍රා මිලියන 71ක් ලබා දී තිබේ. තායිලන්තය ලබා දී ඇති එන්නත් මාත්‍රා ගණන මිලියන 18කි.

ශ්‍රී ලංකාව මේ වනවිට ලබා දී ඇති එන්නත් මාත්‍රා ගණන මිලියන 13ක් වන අතර ශ්‍රී ලංකාව මෑතකදී එක් දිනක් ඇතුළත එන්නත් මාත්‍රා ලක්ෂ පහක් (500,000) ලබාදීමට සමත් විය.

බංග්ලාදේශය ද මේ වනවිට ඔවුන්ගේ එන්නත්කරණ වැඩසටහන වේගවත් කර ඇති අතර ඔවුන් කොක්ස් බසාර්හි සිටින රොහින්‍යා සරණාගතයන්ට ද එන්නත් ලබාදීමට සූදානම් වේ.

මාලදිවයින මේ වනවිට ඔවුන්ගේ ජනගහනයෙන් අඩකට වැඩි පිරිසකට එන්නත් දෙකම ලබා දී ඇත.  එමෙන්ම සෑම 100 දෙනකුගෙන්ම 60 දෙනකු කොවිඩ්-19 මර්දන එන්නත්වලින් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇත.

නේපාලය මේ වනවිට ඔවුන්ගේ සෞඛ්‍ය සේවකයන් ඇතුළු මුල් පෙළ සේවකයන්ගෙන් සියයට 70කට වැඩි පිරිසසක් එන්නත්කරණයට ලක් කර ඇත. ඊට අමතරව එරට වැඩිහිටි ජනගහනයට අයත් පිරිසට අවම වශයෙන් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා දී ඇත.

තායිලන්තය ඔවුන්ගේ සෞඛ්‍ය ශ්‍රම බලකායෙන් මේ වනවිට එන්නත්කරණයට ලක් කර ඇති පිරිස සියයට 84කි.

ටිමෝර් ලෙස්තේ රාජ්‍ය මේ වනවිට එරට ජනගහනයෙන් හතරෙන් එකකට අවම වශයෙන් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා දී ඇත. එරට ජනගහනය මිලියන 100ට මදක් වැඩි වේ.


RECOMMEND POSTS