ආසාදිතයෝ 1,26,258 ක්: මරණ 4,637 ක්



චීනයෙන් ආරම්භ වී ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වූ සංඛ්‍යාව අද (12) වනවිට 1,26,258 ක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවැසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වනවිට ‘කෝවිඞ් 19’ වයිරසය ගෝලීය වසංගත තත්ත්වයක් ලෙස නම් කිරීමට පියවර ගෙන ඇත. වයිරසය හේතුවෙන් සිදුවුණු මරණ සංඛ්‍යාව ඊයේ (12) වනවිට 4,637 ක් ලෙස වාර්තා විය.

‘කෝවිඞ් 19’ නව කොරෝනා වයිරසය පැතිරීම ඇරැඹුණේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර කෙන්ද්‍රකොට ගනිමින් පසුගිය දෙසැම්බරයේය. අද වනවිට වූහාන් නුවරත්, වූහාන් අයත් හුබෙයි පළාතේත් කොරෝනා වයිරස ආසාදිතයන් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව අඩුවී ගොස් තිබේ. වයිරස ආසාදිතයන් වෙනුවෙන් ලහිලහියේ එකරැස් කරමින් ඉදි කළ රෝහල් ද ගලවා ඉවත් කර ඇති බව චීන සෞඛ්‍ය බලධාරීහු පවසති.

චීනයෙන් වයිරසය අඩපණ වෙද්දී, ඉතාලියෙන් දරුණු ලෙස කෝවිඞ් ආසාදිතයන් වාර්තා වේ. අද (12) වනවිට ඉතාලියෙන් හමුවුණු ආසාදිතයන් සංඛ්‍යාන 12,462 කි. වයිරසය හේතුවෙන් මියගිය ගණන 827 කි. ඊට අමතරව, ඉතාලියට අමතරව ‘කෝවිඞ් 19’ දරුණු ලෙස ව්‍යාප්ත වී ඇත්තේ ඉරානයේය. ඉරානයේ ‘කෝවිඞ් 19’ ආසාදිතයන් ගණන 9,000 කි. ඉරාන රජයේ නිල වාර්තා අනුව වයිරසය හේතුවෙන් මියගිය ගණන 354 කි.

කොරෝනා වයිරසය හේතුවෙන් මුළු ඉතාලියම නිරෝධායන ක්‍රියාවලියකට ලක් කිරීමට ඉතාලි රජය පියවර ගෙන ඇත. අත්‍යවශ්‍ය රාජකාරියකට හැර ඉතාලි වැසියන්ට නිවෙස්වලින් බැහැරව යෑමට අවසර නොලැබෙන බව ද පැවැසෙයි. මේ අතර, ඔසුසැල් සහ සුපිරි වෙළෙඳසැල් හැර සෙසු සියලු වෙළෙඳසැල් තාවකාලිකව වසා දැමීමට ද පියවර ගෙන තිබේ.

මේ අතර, ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ව්‍යාප්තවීමත් සමඟ සෞදි අරාබිය, ශ්‍රී ලංකාව ද ඇතුළු රටවල් 39 කට තහංචි පනවා ඇත.එම රටවල් 39 ට, ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, දකුණු කොරියාව ඇතුළු යුරෝපා රටවල් ඇතුළත් වෙයි. එම තහංචිය යටතේ මෙම රටවල වැසියන්ට සෞදියට ඇතුළුවීම පමණක් නොව, සෞදි වැසියන්ට මෙම රටවල සංචාරය කිරීමට ද නොහැකිය.

චීනයෙන් පිට වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇත්තේ ඉතාලියෙනි. ඉතාලිය යුරෝපා රාජ්‍යයකි.මේ වනවිට සෞදියේ ද නව කොරෝනා වයිරසය වේගයෙන් පැතිර යමින් පවතී. සෞදියෙන් හමුවුණු කොරෝනා ආසාදිතයන් ගණන 54 කි.

ජිනීවාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS