ආසාදිතයන් ගණන ලක්ෂය පනී
චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ආරම්භ වී, ලොව පුරා පැතිරෙන ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදනය වූ ගණන මේ වනවිට ලක්ෂය ඉක්මවා ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
‘කෝවිඞ් 19’ වයිරසය හේතුවෙන් මියගිය ගණන 3,500 ඉක්මවා ඇත. චීනයෙන් ආරම්භ වූ වයිරසය ඇන්ටාක්ටිකාව හැර ලෝකයේ සියලු මහද්වීපවලට පැතිර ගොස් ඇත. වයිරසය පැතිරුණු රටවල් ගණන 92 කි. කොරෝනා වයිරසය පැතිර ගිය අලුත්ම රට වන්නේ ලතින් ඇමෙරිකාවට අයත් පෙරුගුවේ රාජ්‍යයයි.
කොරෝනා වයිරස ආසාදිතයන් නිරෝධායනය කර රඳවා තැබුණු මහල් පහකින් සමන්විත හෝටලයක් කඩා වැටීමෙන් 30 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. හිටිහැටියේ කඩා වැටුණේ, චීනයේ ක්වංෂූ වරාය නගරයේ කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් වෙන් කෙරුණු ‘ෂිංජියා’ නමැති හෝටලයයි. සහන සේවකයන් මැදිහත් වී 70 දෙනකු සුන්බුන් අතරින් මුදා ගත් බව පැවැසෙයි. තවත් පුද්ගලයන් 38 දෙනකු පමණ සුන්බුන් අතරේ සිරවී සිටින බව චීන පුවත් සේවා වාර්තා කරයි. ඔවුන් මුදා ගැනීම ලහිලහියේ සිදුවන බව ද වාර්තා විය.
චීනයෙන් පිට වැඩිම ආසාදිතයන් හමුවී ඇත්තේ දකුණු කොරියාවෙනි. දකුණු කොරියාවේ ආසාදිතයන් ගණන 7,041 ඉක්මවා ඇත. දකුණු කොරියාවෙන් කොරෝනා මරණ 44 ක් වාර්තා වේ. දෙවැනියට වැඩිම ආසාදිතයන් වර්තා වන්නේ ඉතාලියෙනි. ඉතාලියේ ආසාදිතයන් ගණන මේ වනවිට 5,883 ඉක්මවා ඇති බවත් මරණ 233 දක්වා ඉහළ ගොස් ඇති බවත් වාර්තා වේ. චීනයෙන් පිට වැඩිම කොරෝනා මරණ වාර්තා වී ඇත්තේ ඉතාලියෙනි. පසුගිය සිකුරාදා (6) දිනයේ පමණක් වාර්තා වූ මරණ සංඛ්‍යාව 49 කි.
බීජීංහිදීය (ඒ.එෆ්.පී.)

