ආරක්ෂක නිලධාරීන් අනතුරේ දැම්මා



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයකු වී, වෝල්ටර් රීඞ් හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටිද්දී, ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, එම වෛද්‍ය මධ්‍යස්ථානය ඉදිරිපිටට රැස්වුණු සිය ආධාරකරුවන්ට අතවැනීමට යෑම, අණුවන ක්‍රියාවක් බවටත් ට්‍රම්ප් ජනපති ආරක්ෂක අංශ නිලධාරීන්ගේ ජීවිත අනතුරේ දැමූ බවටත් චෝදනා එල්ල වී ඇත.

ඇමෙරිකන් ජනපති ආරක්ෂක අංශය හැඳින්වෙන්නේ ‘සීක්‍රට් සර්විස්’ යනුවෙනි. ට්‍රම්ප් වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටිද්දී, රිය පෙරහරට එක් වූයේ වෛද්‍යවරුන් එපා කියද්දී යැයි මේ වනවිට අනාවරණය වී ඇත.

‘ට්‍රම්ප්ගේ එස්.යූ.වී. රථය වෙඩි උණ්ඩ වළක්වනවා වෙන්න පුළුවන්. එහෙත්, කොරෝනා ආසාදිතයකු වන ට්‍රම්ප්ගෙන් අනෙක් අයට කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට බැහැ. මුහුණු ආවරණ පැලඳ සිටියත්, ට්‍රම්ප් අසල ගැවසුණු බැවින්, රථය පැදවූ සීක්‍රට් සර්විස් නිලධාරියාටත්, ඉදිරිපස අසුනේ සිටි අනෙක් නිලධාරියාටත් කොරෝනා ආසාදනය වීමේ දැඩි අවදානමක් තිබෙනවා. ට්‍රම්ප් රිය පෙරහරට එක් වූයේ වෛද්‍ය නිර්දේශ සැලකිල්ලට නොගනිමින්. ඔහු උත්සහ ගත්තේ දේශපාලනික වාසි ගන්නයි. දේශපාලන වාසි වෙනුවෙන් ජීවිත බිල්ලට දෙන්න ට්‍රම්ප් පසුබට නැහැ. අප ඔහුට විරුද්ධ වුණත් ඔහු ඊට කන් දුන්නේ නැහැ’ යැයි ට්‍රම්ප්ට දොස් පවරමින් වෝල්ටර් රීඞ් වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය ජේම්ස් පිලිප්ස් මාධ්‍ය හමුවේ පවසා තිබේ.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS