අසාධ්‍ය කොවිඩ් රෝගීන්ට ප්‍රතිදේහ ප්‍රතිකාරයක්



අසාධ්‍ය 'කොවිඩ් 19' රෝගීන් සඳහා 'ස්ට්‍රොවිමැබ්' ප්‍රතිදේහ ප්‍රතිකර්මය සුදුසු යැයි බ්‍රිතාන්‍ය ඖෂධ සහ සෞඛ්‍ය නිෂ්පාදන නියාමන නියෝජිත ආයතනය තීරණය කර තිබේ. බ්‍රිතාන්‍යයේ ඖෂධ පාලන අධිකාරිය ලෙස සැලකනේනේ ද මෙම ආයතනයයි.

'කොවිඩ් 19 ආසාධ්‍ය රෝගීන් කඩිනමින් සුවපත් කිරීමටත්, ඔවුන් රෝහලේ රැඳී සිටින කාල සීමාව අඩු කිරීමටත්, ඔවුන් මරණයට පත් වීම වළක්වා ගැනීමටත් මෙම ප්‍රතිකර්මයට හැකි බව තහවුරු වී තිබෙනවා. ඒ වගේමයි මෙම ප්‍රතිකර්මය ආරක්ෂිතයි. ඒ නිසා 'ස්ට්‍රොවිමැබ්' සඳහා අනුමැතිය ලබා දෙනවා' යැයි බ්‍රිතාන්‍ය ඖෂධ සහ සෞඛ්‍ය නිෂ්පාදන නියාමන නියෝජිත ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

'කොවිඩ් 19' ආසාදනය වී බරපතල රෝග ලක්ෂණ පෙන්නුම් කරන ඉහළ අවදානම් සහිත වැඩිහිටියන්ගේ රෝහල්ගතවීමේත් මරණයට පත් වීමේත් අවදානම සියයට 79 කින් අඩු කිරීමට ඖෂධයේ එක් මාත්‍රාවක් ප්‍රමාණවත් බව සායනික පර්යේෂණවලින් තහවුරු වී ඇතැයි ද පැවැසෙයි. 'ස්ට්‍රොවිමැබ්' ඖෂධය වෙළෙඳපොළට නිකුත් කෙරෙන්නේ 'සෙවුඩි' වෙළෙඳ නාමය යටතේය.

මේ වනවිට බ්‍රිතාන්‍ය ඖෂධ සහ සෞඛ්‍ය නිෂ්පාදන නියාමන නියෝජිත ආයතනය ඇමෙරිකාවේ 'මර්ක්' සමාගම නිපදවා ඇති 'මොල්නුපිරවීර්' කරලට ද අනුමැතිය ලබා දී ඇත. ඒ, හදිසි භාවිතයට එය සුදුසු බව පෙන්වා දෙමිනි.

'කොවිඩ් 19' ආසාදිතයන්ට වෛද්‍ය උපදෙස් අනුව, නිවසේ සිට 'මොල්නුපිරවීර්' කරල භාවිතයට ගැනීම ඒ අනුව කළ හැකිය. 'මොල්නුපිරවීර්' කරල නිපදවා ඇත්තේ ද කඩිනමින් 'කොවිඩ් 19' ආසාදිතයන් සුවපත් කිරීමටය. 'ස්ට්‍රොවිමැබ්' ප්‍රතිදේහ ප්‍රතිකර්මය ලබා දීම සිදු කරන්නේ රෝහල් තුළ දී පමණි.

'ස්ට්‍රොවිමැබ්' නිපදවා ඇත්තේ මහා බ්‍රිතාන්‍යයේ 'ග්ලැස්කෝ-ස්මිත්-ක්ලයින්' ඖෂධ නිෂ්පාදන සමාගමය. මෙය බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව, මොනොක්ලෝනල් නමැති ප්‍රතිදේහ ප්‍රතිකාර ක්‍රමයකි. මෙහිදී සිදුවන්නේ කොරෝනා වයිරසයේ ස්පයික් ප්‍රෝටීනයට සම්බන්ධ වන ප්‍රෝටීන ආසාදිතයන්ගේ සිරුරේ සෛලවලට ඇතුළු වීමේ හැකියාව අඩු කිරීම යැයි 'ග්ලැස්කෝ-ස්මිත්-ක්ලයින්' ඖෂධ නිෂ්පාදන සමාගම පැහැදිලි කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS