අලුත උපන් බිලිදාගේ සිරුරේ ප්‍රතිදේහ



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී පසුව සුවය ලබා සිටි ගැබිනි කාන්තාවක බිහි කළ බිලිඳකුගේ සිරුරේ, ‘කොවිඞ් 19’ වයිරසයට එරෙහිව ප්‍රතිදේහ නිර්මාණය වී ඇති බවත් එහෙයින් ස්වභාවිකව ප්‍රතිශක්තියක් නිර්මාණය වී බවත් සිංගප්පූරු වෛද්‍යවරු පවසති.

නින් චැංග් නමැති මෙම සිංගප්පූරු මව, කොවිඞ් 19 වයිරස ආසාදිතයකු බව හඳුනාගෙන ඇත්තේ පසුගිය මාර්තුවේදීය. ඉන්පසු සති දෙකක් වැනි කාලයක දී ඇය පූර්ණ සුවය ලබා ඇත. දරු ප්‍රසූතිය සිදුවූයේ පසුගිය සතියේය.

‘කොවිඞ් 19’ ආසාදිත තැනැත්තියක වූ බැවින්, වෛද්‍යවරුන් කාන්තාව ගැනත් අලුත උපන් බිලිඳා ගැනත් විමසිල්ලෙන් පසු වූ අතර බිලිඳාගේ රුධිර සාම්පල වෛද්‍ය පරීක්ෂණ කීපයකට යොමු කර තිබේ. ඒ අනුව තහවුරු වී ඇත්තේ, ‘කොවිඞ් 19’ කොරෝනා වයිරසයට එරෙහිව ප්‍රතිදේහ මවු කුසේදී බිලිඳාට ලැබී ඇති බවය.

සිංගප්පූරුවේදීය (රොයිටර්)

 


RECOMMEND POSTS