අල්ලාගත් යුක්රේන පළාත් රුසියාවට ඈඳා ගැනෙයි
රුසියන් හමුදා විසින් අල්ලා ගනු ලැබූ යුක්රේන පළාත් රුසියාවට ඈඳා ගැනීම සඳහා අදාල නියෝගවලට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අත්සන් තැබුවේය.
රුසියාවට ඈඳා ගැනෙනු ඇත්තේ නැගෙනහිර යුක්රේනයේ ලුහාන්ස්ක්, ඩොනෙස්ක් යන පළාත් ද දකුණු යුක්රේනයේ සැපරිස්සායා සහ කෙර්සෝන් යන පළාත් ය. මෙම පළාත් හතරේ ජනමත විමසුම් පවා රුසියාව මැදිහත් වීමෙන් පවත්වා තිබේ. ඒ, රුසියාව සමඟ එක්වෙනවා ද නැද්ද යන්න සොයා දැන ගැනීම සඳහාය.
ලුහාන්ස්ක්, ඩොනෙස්ක් යන පළාත්වල ජීවත් වන වැඩිදෙනා රුසියන් බස කතා කරන වැසියන් වන අතර, එම පළාත්වල ක්‍රියාත්මක බෙදුම්වාදීන්ගේ සහාය හිමිවන්නේ ද රුසියානු රජයට සහ හමුදාවටය.
කෙසේ නමුත්, කර්සෝන් සහ සැපරෝෂ් පළාත්වල තත්ත්වය ඊට වෙනස්ය. කර්සෝන් සහ සැපරෝෂ් පළාත් ස්වාධීන ස්වෛරී රාජ්‍යයන් ලෙස පිළිගනිමින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විශේෂ නියෝග දෙකකට අත්සන් තැබූ අතර, එම මොහොතේ සිට එම නියෝග ක්‍රියාත්මක විය. ඒ අනුව, කර්සෝන් සහ සැපරෝෂ් පළාත්වල රාජ්‍ය ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය පිළිගැනීමට රුසියාව කටයුතු කළේ යැයි රුසියානු බලධාරීහු පැවැසූහ.
එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව, කර්සෝන් සහ සැපරෝෂ් යන පළාත් රුසියාවට ඈඳා ගැනීමට නම්, පළමුවෙන් ඒවා ස්වාධීන රාජ්‍ය විය යුතුය. කර්සෝන් සහ සැපරෝෂ් යන පළාත් කෙළින්ම රුසියාවට ඈඳා ගැනීම කළ නොහැකි වන අතර, එසේ කළහොත්, එය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංගනය වීමක් බව පැවැසෙයි.
එසේ වුවත්, යුක්රේනයේ පළාත් රුසියාවට එක් කර ගැනීමට ජනාධිපති පුටින් කටයුතු කිරීම, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ගේ දැඩි විරෝධයට හේතුවක් වී තිබේ.
අසල්වැසි රාජ්‍යයක් ආක්‍රමණය කරමින් එම පළාත් අත්පත් කර ගැනීම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝනය කිරීමක් යැයි මහ ලේකම්වරයා පැහැදිලි කර ඇත. රුසියාවේ ක්‍රියා කලාපය ලෝක සාමයට තර්ජනයක් බව ද මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් පැහැදිලි කර තිබේ.
යුක්රේනයේ පළාත් රුසියාවට ඈඳා ගැනීම සම්බන්ධයෙන් මොස්කව් අගනුවර රතු චතුරස්‍රයේ ඉදිකළ දැවැන්ත වේදිකාවේ සිට ජනාධිපති පුටින් රුසියානුවන් ඇමැතුවේය. සන්ධ්‍යාවේ එම වේදිකාවේ සංගීත ප්‍රසංගයක් ද පැවැත්විණි.
රුසියාව අසල්වැසි යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය. ඒ, යුක්රේනය ‘නේටෝ’ සංවිධානයට සහාය පළ කරමින් ‘නේටෝ’ සංවිධානයේ සාමාජිකත්වය අපේක්ෂා කිරීම නිසාය. උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් ‘නේටෝ’ යුද රුසියාවේ තර්ජනන පිටුදැකීමේ අරමුණින් පිහිටුවූ යුද සංධානයකි.
යුක්රේනයට අයත් ක්‍රිමියා අර්ධද්වීපය ද 2014 වසරේ සිට පවතින්නේ රුසියාව යටතේය. රුසියාන් ජනාධිපති පුටින්ගේ අණ පරිදි, රුසියානු හමුදා ක්‍රිමියා අර්ධද්වීපය ද අත්පත් කරගත්තේ හමුදා ආක්‍රමණයකින් පසු ජනමත විමසුමක් පවත්වමිනි. එම අවස්ථාවේදී ද ජනාපධිති පුටින් විශේෂ කතාවක් පැවැත් වූ බව විදෙස් මාධ්‍ය සිහිපත් කරයි.
(රොයිටර්)