අයි.එස්. පොඞ්ඩෝ 45,000 ක් ඉන්නවා



අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානයට අයත් දරු දැරියන් 45,000 ක පිරිසක් සිටින බවත්, ඔවුන්ගෙන් බටහිර රටවලට පමණක් නොව මුළු ලොවටම තර්ජනයක් බවත් යුරෝපා සංගමයේ ත්‍රස්ත මර්දන ප්‍රධානී ගිලේ දෙ කෙර්කෝව් අනතුරු අඟවයි.

ඉරාකයේ සහ සිරියාවේ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ඉස්ලාමීය රාජ්‍යය මේ වනවිට බිඳ වැටී ඇති අතර, ඉස්ලාමීය රාජ්‍යය සමඟ එක් වී, අයි.එස්. ත්‍රස්තවාදීන් සමඟ විවාහ වූ කාන්තාවන් සහ ඔවුන්ගේ දරුවන් පමණක් නොව, අයි.එස්. සංවිධානය විසින් බඳවා ගත් දරුවන් ද 45,000 ක පිරිසක් ඉරාකයේ සහ සිරියාවේ බන්ධනාගාරවල රඳවා ඇත.

අයි.එස්. සාමාජික සාමාජිකාවන්ගේ දරු දැරියන්ටත්, සාමාජිකයන් ලෙස බඳවා ගත් සෙසු දරු දැරියන්ටත් උප්පැන්න සහතික ලබා දී ඇත්තේ ඉස්ලාමීය රාජ්‍යයයි. එහෙයින් මෙම දරුවන් 45,000 කිසිදු ජාතිකයකට හෝ රාජ්‍යයකට හෝ අයිති නොවන බව ත්‍රස්ත මර්දන ප්‍රධානී ගිලේ දෙ කෙර්කෝව් පෙන්වා දී ඇත.

දරුවන් 45,000 දෙනාගෙන් වැඩිදෙනා පිරිමි දරුවන් බවත්, ඔවුන් ‘කාල බෝම්බ’ හා සමාන බවත් අයි.එස්. ත්‍රස්තවාදීන් මෙම දරුවන්ගේ මනස විකෘති කොට ඇත්තේ, අයි.එස්. සාමාජිකයන් හැර සෙසු සැමට වෛර කිරීමට බවත් කෙර්කෝව් පැහැදිලි කරයි. කෙර්කෝව් මේ බව පැහැදිලි කළේ රෝමයේ පැවැති ත්‍රස්ත මර්දන සම්මන්ත්‍රණයකදීය.

සුන්නි අන්තවාදීන්ගෙන් සැදුම්ලත් අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය ඔවුන් විසින් අල්ලා ගනු ලැබූ සිරියාවේ සහ ඉරාකයේ නගර, පළාත් එක්කර ඉස්ලාමීය රාජ්‍යය පිහිටුවා ගත්තේ 2014 සහ 2015 කාලයේය. අබු බකර් අල් බැග්ඩෑඩි නායකත්වයෙන් අයි.එස්. සංවිධානය ශක්තිමත් ත්‍රස්ත සංවිධානයක් බවට පත් විය. අයි.එස්. හෙවත් ඉස්ලාමීය රාජ්‍යයේ නායකයා එසේත් නැතිනම් කලීප්වරයා වූයේ අල් බැග්ඩෑඩිය.

බටහිර රටවලින් පමණක් නොව ලොව නන්දෙසින් අන්තවාදී සහ මූලධර්මවාදී අදහස් ඇති උගත් මුස්ලිම් තරුණ තරුණියන් සිරියාවට ගොස් අයි.එස්. සංවිධානය සමඟ එක් විය. ඉස්ලාමීය රාජ්‍යයේ දී, බටහිර තරුණියන් බොහෝ දෙනකු අයි.එස්. තරුණයන් සමඟ විවාහ වූහ. ඔවුන්ට උපන් දරුවන්ටත්, අයි.එස්. ත්‍රස්තවාදීන් ඔවුන්ගේ සංවිධානයට බඳවා ගත් දරුවන්ටත් උප්පැන්න ලබා දීම සිදු කළේ ඉස්ලාමීය රාජ්‍යය හෙවත් කලීෆා හරහාය.

යුරෝපා සංගමයේ ත්‍රස්ත මර්දන ප්‍රධානී ගිලේ දෙ කෙර්කෝව් බිය පළ කරන්නේ මෙම දරුවන් සම්බන්ධයෙනි. අද වනවිට ඉරාකයේ සඑ සිරියාවේ පිහිටුවාගත් ඉස්ලාමීය රාජ්‍යය බිඳ වැටී ඇත. සිරියා රජයත් ඉරාක රජයත් බටහිර සහාය ද ඇතිව අයි.එස්. ත්‍රස්තවාදීන් අඩපණ කර අවසන්ය.

(ඬේලිමේල්)


RECOMMEND POSTS