අයි.එස්. ත්‍රස්ත නායකයා මරා දමලා



අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩි තමන් එල්ල කළ ප්‍රහාරයකින් මියගියේ යැයි ඇමෙරිකාව පවසා ඇත.

මීට පෙර ද අල් බැග්ඩෑඩි මියගිය බව ඇමෙරිකා හමුදාව පැවැසුවත් ඒ බව තහවුරු නොවුණු අතර, සැඟවී ජීවත් වන බැග්ඩෑඩි වීඩියෝ දසුන් සහ හඬ පට නිකුත් කළේය.

කෙසේ නමුත් මෙවර ඇමෙරිකා හමුදාව, සී.අයි.ඒ. බුද්ධි අංශය පමණක් නොව, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ද පවසා ඇත්තේ අල් බැග්ඩැඩි මියගිය බවය.

අවසන් වරට බැග්ඩෑඩි වීඩියෝ දසුන් හරහා පෙනී සිටිමින් ලොවට අනතුරු ඇඟවීමක් කළේ පසුගිය අප්‍රේල් 21 වැනිදා, එනම් පාස්කු දිනය දා, මෙරට කතෝලික පල්ලි ඉලක්ක කර ගනිමින් එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ වගකීම බාර ගනිමිනි.

අල් බැග්ඩෑඩි, 2014 වසරේ, ඉරාකයේ මොසූල් නගරය අල්ලා ගත් අවස්ථාවේ සිට පසුගිය පස් වසරක කාලය පුරාවට ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත කල්ලියට නායකත්වය දුන්නේය.

අල් බැග්ඩෑඩි පළමුවරට වීඩියෝ දසුන් හරහා පෙනී සිටියේ ද මොසූල් නගරයේ නූරි මුස්ලිම් පල්ලියේ සිට තම සාමාජිකයන් අමතමිනි.

2015 වසරේ ඇමෙරිකාව ඉරාකයේ සිදු කළ ප්‍රහාරයකදී ද අල් බැග්ඩෑඩි තුවාල ලැබූ බව හෝ මියගිය බව හෝ පැවැසිණි.

කෙසේ නමුත් ඔහු ජීවතුන් අතර සිටින බව තහවුරු වූයේ පාස්කු දින ප්‍රහාරයෙන් දින කිහිපයකට පසු එළිදැක්වූ වීඩියෝ දසුන් හේතුවෙනි.

ඇමෙරිකාව අල් බැග්ඩෑඩිගේ හිසට ඇමෙරිකන් ඩොලර් මිලියන 25 ක මුදලක් නියම කර තිබුණේය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS