අබිරහස් ලෙඩක් ඉන්දියාවේ



ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ එල්ලුරු නගරයේ වැසියන් හිටිහැටියේ අබිරහස් රෝගයකින් පීඩා විඳින බවත්, අද (7) වනවිට නගරයේ රජයේ රෝහල්වලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ රෝගීන් ගණන පිරිස 318 ක් බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

කැරකිල්ල, ඔක්කාරය‍, වමනය, සිහිසුන්වීම සහ අපස්මාර තත්ත්වයක් ඇතිවීම රෝග ලක්ෂණ බව පැවැසෙන අතර, රෝගී වූ වැඩි දෙනා කුඩා දරුවන් බව ද පැවැසෙයි. කුඩා දරුවන් ඇස් දැවිල්ල තත්ත්වයකින් ද පීඩා විඳින බව එල්ලූරු නගරයේ වෛද්‍යවරු වැඩි දුරටත් කියා සිටිති.

රෝගීන් වෙනුවෙන් එල්ලූරු නගරයේ සියලු රජයේ රෝහල් සූදානමින් සිටින බවත්, එසේ පැමිණෙන රෝගීන්ට හැකි පමණින් ප්‍රතිකාර ලබා දීමට කටයුතු කරන බවත් වෛද්‍යවරු කියති.

ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්ත සෞඛ්‍ය අමත්‍යාංශයේ මැදිහත් වී, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් රෝගී තත්ත්වය කුමක්දැයි සොයා බැලීමට යොදවා ඇති බව ද වාර්තා වේ.

එම විමර්ශන කණ්ඩායම අනුමාන කරන්නේ රෝගයට හේතුව විෂක් ශරීරගත වීම කියාය. ජලය විෂවීමක් හෝ වාතය විෂවීමක් හෝ විය හැකි බවට සැකයක් පවතී.

එල්ලූරු වැසියන් මෙසේ අබිරහස් රෝගී තත්ත්වයකට ගොදුරු වූයේ, ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් ඉන්දියාවට විශාල බලපෑමක් එල්ල වී ඇති අවස්ථාවකය.

‘රෝගය කුමක්දැයි මෙතෙක් වෛද්‍යවරුන්ට හඳුනා ගැනීමට හැකි වී නැහැ. රෝහල්වලට රෝගීන් වාර්තා වීමට පටන්ගෙන ඇත්තේ පසුගිය සිකුරාදා සිටයි. වැඩිදෙනා කුඩා දරුවන්. කොරෝනා වසංගත තත්ත්වය නිසා ආරක්ෂිත ක්‍රමවේද යටතේ රෝගීන් රෝහල්වලට ගන්නවා. ප්‍රතිකාර ලබා දෙනවා. සුවය ලැබූ සැණින් ඔවුන් පිටත් කරනවා.’ යැයි ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්ත සෞඛ්‍ය අමැති අල්ලා කාලී ශ්‍රීනිවාස් මාධ්‍ය හමුවේ පවසා තිබේ.

ඉන්දියාවේ සෙසු ප්‍රාන්තවල මෙන්ම, ආන්ද්‍රා ප්‍රදේශයේ ද ‘කොවිඩ් 19’ වසංගත තත්ත්වයක් නිර්මාණය විය. ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන කෝටි 871 කි. එයින් කෝටි 858 ක් සුවය ලැබූ බව පැවැසෙයි. මරණ වාර්තා වී ඇත්තේ 7,024 ක් ලෙසිණි.

මේ වනවිට ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් ඉන්දියාවට විශාල වශයෙන් බලපෑම් එල්ල වී ඇත. ලොව දෙවැනියට වැඩිම කොරෝනා වයිරස ආසාදිතයන් වාර්තා වන්නේ ඉන්දියාවෙනි. මේවනවිට ඉන්දියාවෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයන් ගණන 9,676,801 කි. මරණ වාර්තා වූයේ 1,40,590 ක් ලෙසය. වයිරසය ආසාදනය වී සුවය ලැබූ ගණන 9,138,171 ක් බව ද පැවැසෙයි.

එල්ලුරු නුවරදීය (රොයිටර්)


RECOMMEND POSTS