අගමැති මෝදි පරද්දන්න අමාරුයි



විශ්වාසභංගයකින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ධුරයෙන් ඉවත් කළ නොහැකි බව ඉන්දියාවේ විපක්ෂ දේශපාලන කණ්ඩායමක් වන රාෂ්ත්‍රීය ජනතා දාල් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොනෝජ් කුමාර් ජා පවසයි.

අග්‍රාමාත්‍ය මෝදිට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ විපක්ෂ සන්ධානය තීරණය කළේ 26 දිනයේය. ඒ, මනිපූර් ප්‍රාන්තයේ සිදුවන වාර්ගික ගැටුම් දිනෙන් දින උත්සන්න වීමත් සමඟය.

විශ්වාසභංගයක් පාර්ලිමේන්තුව හෙවත් ලොක් සභාවට ඉදිරිපත් කිරීමට කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ විපක්ෂ සන්ධානය සූදානම් වෙයි. රාෂ්ත්‍රීය ජනතා දාල් පක්ෂය ද එම සන්ධානයේ හවුල්කාර පක්ෂයකි.

ඉන්දීය පාර්ලිමේන්තුවේ (ලොක් සභාව) මනිපූර් ප්‍රාන්තයේ බලයේ සිටින්නේ මෝදිගේ භාරතීය ජනතා පක්ෂයයි. වාර්ගික ගැටුම් ආරම්භ වූයේ පසුගිය මැයි මාසයේය. එම ගැටුම් හේතුවෙන් මේවනවිට 130 දෙනකු මියගොස් ඇති අතර, 60,000 කට උන්හිටිතැන් අහිමිවී තිබේ.

ඉන්දීය පාර්ලිමේන්තුවේ ආසන 542 කි. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂ රජයට හිමි ආසන ගණන 301 කි.
විපක්ෂ දේශපාලන කණ්ඩායම් සන්ධානගතවී විශ්වාසභංගයක් ඉදිරිපත් කළත් එය පරාජය කිරීමේ හැකියාව භාරතීය ජනතා පක්ෂය සතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මොනෝජ් කුමාර් ජා පැහැදිලි කර තිබේ.


RECOMMEND POSTS