අගමැති ඉම්රාන් සාමාන්‍ය ගුවන් යානයකින් ආපසු එයි



එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වීමෙන් පසු පාකිස්තාන අගමැති අද (29) සවස්වරුවේ යළි පාකිස්තානය බලා පැමිණෙන බවත්, ඔහු පැමිණෙනු ඇත්තේ පාකිස්තාන ගුවන් සේවයට අයත් සාමාන්‍ය මගී යානයකින් බවත් පැවැසෙයි.

මහා මණ්ඩල සැසියට යෑමට ඉම්රාන් ගියේ සෞදිය හරහාය. ඉම්රාන්ට සහාය පළකරමින් ඇමෙරිකා යෑමට සෞදි රජය ඔහුට විශේෂ ගුවන් යානයක් දී තිබුණි.

එම විශේෂ ගුවන් යානයෙන් ඉම්රාන් ජෙඩා හරහා පාකිස්තානයට පැමිණීමට නියමිතව සිටියේය. කෙසේ නමුත් තාක්ෂණික දෝෂයක් හට ගැනීම නිසා ගමන අවලංගු විය.

ඉම්රාන් කියා සිටියේ තමන් සෙසු පාකිස්තාන වැසියන් ද සමඟ සාමාන්‍ය ගුවන් යානයකින් පාකිස්තානයේ ඉස්ලාමාබාද් බලා යාමට කැමති බවය.

පාකිස්තානය දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටී. එයින් ගොඩඒමට මැති ඇමැතිවරුන්ගේ පමණක් නොව, තමන්ගේ ද වියදම් විශාල වශයෙන් කප්පාදු කිරීමට අගමැති ඉම්රාන් පියවර ගෙන ඇත.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS