WHO නිර්දේශ කළ එන්නත්වලට අවසර



හදිසි භාවිතයට සුදුසු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කළ ඕනෑම 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නතකට තමන් අනුමැතිය ලබා දෙන බව ඇමෙරිකානු ජාතික වසංගත රෝග පාලනය සහ වැලැක්වීමේ සී.ඩී.සී. ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඒ අනුව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබූ ප්‍රතිශක්තිකරණ එන්නත් නියමිත මාත්‍රා ලබා ගත් ඕනෑම විදේශිකයකුට නිරෝධායනයට ලක් නොවී ඇමෙරිකාවට පිවිසීමට අවස්ථාව ලැබේ.
ඇමෙරිකා රජය මේ වනවිට චීනය, ඉන්දියාව, බ්‍රසීලය සහ යුරෝපීය රටවල් රැසක් ඇතුළු රටවල් 33 කට පනවා තිබූ සංචාරක තහනම ද ඉවත් කර ඇත. ඒ, පූර්ණ වශයෙන් එන්නත්කරණයට ලක්වූ විදේශිකයන් සදහා එරට විවෘත කරමිනි.

හදිසි භාවිතයට සුදුසු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවී ඇත්තේ ඇමෙරිකාවේ 'ෆයිසර්' සහ 'මොඩර්නා', 'ජොන්සන් ඇන්ඩ් ජොන්සන්', මහා බිතාන්‍යයේ 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා' (ඉන්දියාවේ නිෂ්පාදිත කොවිෂීල්ඩ් ද ඇතුළුව),  'සයිනොෆාම්' සහ 'සිනොවැක්' යන එන්නත් සදහා පමණි.

'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා' යනු මහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් සහ 'ඇස්ට්‍රාසෙනකා' ඖෂධ නිෂ්පාදන සමාගම එක් වී නිපදවූ එන්නතය. මෙම එන්නත රටවල් කීපයක නිෂ්පාදනය කෙරේ. ඉන්දියාවේ එය නිෂ්පාදනය කෙරෙන්නේ 'කොවිෂීල්ඩ්' යන වෙ‍ෙළඳ නාමය යටතේය.

මේ අතර හෙට (11) සිට 'කොවිෂීල්ඩ්' එන්නතතේ නියමිත මාත්‍රා දෙකම ලබා ගත් ඉන්දියානුවන්ට නිරෝධායනයකින් තොරව බ්‍රිතාන්‍යයට ඇතුළු වීමට අවසර දෙන බව ඉන්දීය බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇලෙක්ස් එලියස් ට්විටර් පණිවුඩයකින් දන්වා තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ 'කොවැක්ස්' වැඩසටහන හරහා මේ වනවිට ලොව බොහෝ දෙනකුට ලැබී ඇත්තේ ද මෙම 'කොවිෂීල්ඩ්' එන්නතය.

කෙසේ නමුත් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීන් සහ රජය 'කොවිෂීල්ඩ්' එන්නත අනුමත නොකළ බැවින්, එන්නත් දෙකම නියමිත පරිදි ලබා ගෙන බ්‍රිතාන්‍යයට පැමිණෙන ගුවන් මගීන් ද දින 14 ක් නිරෝධායනයට යොමු කිරීම අනිවාර්ය කෙරුණි. මෙය ඉන්දියාවේ දැඩි විරෝධයට හේතුවක් විය.

බ්‍රිතාන්‍ය රජය නිවේදනය කළේ 'කොවිෂීල්ඩ් එන්නත සම්බන්ධයෙන් තමන්ට අවිශ්වාසයක් නොමැති බවත්, එම එන්නත සම්බන්ධයෙන් ඉන්දීය රජය එන්නත ලබාගත් අයට නිකුත් කරන එන්නත් කාඩ්පත නිසි ප්‍රමිතියකින් නොමැති බවත්ය. ඒ අනුව, ඉන්දීය රජය මේ වනවිය නිසි ප්‍රමිතියකට අනුව, ඩිජිටල් එන්නත් කාඩ්පතක් නිපදවා ඇති අතර විදේශිකයන්ට මෙය ලබා දීම සිදුවෙයි.

ලොව පළමුවෙන් නිපදවූ සහ ලියාපදිංචි කළ එන්නත වන්නේ රුසියාවේ 'ස්පුට්නික් 5' එන්නතය. මෙම එන්නතට තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී නැත. 'ස්පුට්නික්' එන්නතට අනුමැතිය දීම කෙරහි අවදානය යොමු කර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඉකුත් දා පවසා තිබුණි.

(බීබීසී)


RECOMMEND POSTS