17 හැවිරිදි ඇමෙරිකන් දැරිය අත්අඩංගුවට



අල් කයිඩා ත්‍රස්ත සංවිධානය සමඟ එක් වී, ඇමෙරිකාවේ ප්‍රහාරයක් සැලැසුම් කළැයි චෝදනා එල්ල වූ 17 හැවිරිදි ඇමෙරිකන් දැරියක එෆ්.බී.අයි. පරීක්ෂකයන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේය.

එෆ්.බී.අයි. පරික්ෂකයන්, මෙම දැරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ පිලිඩෙල්පියා නගරයෙනි. පිලිඩෙල්පියා යනු පෙන්සිල්වේනියා ජනපදයේ වැඩිම ජනගහනයක් ඇති නගරයයි.

මෙම දැරිය මාස කීපයක් තිස්සේ අල් කයිඩා සංවිධානය සමඟ පණිවුඩ හුවමාරු කළ බවට එෆ්.බී.අයි. පරික්ෂකයෝ චෝදනා නගති. පරීක්ෂකයන් දැරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇය ගැන විමසිල්ලෙන් පසුවීමෙන් අනතුරුවය.

අල් කයිඩා සංවිධානය කලක් ලොව බිහිසුණු ත්‍රස්ත සංවිධානයක් ලෙස සැලකිණි. 2001 සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකාවට පහර දුන්නේ ද අල් කයිඩාවය. එදා අල් කයිඩාවට නායකත්වය දුන්නේ ඔසාමා බින් ලාඩන්ය.

ඇමෙරිකන් බුද්ධි අංශ සහ නේවි සීල් භටයන්, බින් ලාඩන් ඝාතනය කළේ 2011 වසරේදීය. ඒ වනවිට ඔහු පාකිස්තානයේ ඇබොට්ටාබාද් නුවර නිවසක සැඟජී ජීවත් වෙමින් සිටියේය.

බින් ලාඩන්ගෙන් පසු අල් කයිඩා නායකයා ලෙස තෝරාගත් නායකයන් ද මරා දැමීමට ඇමෙරිකාව සමත් විය. අද අල් කයිඩාව ප්‍රබල ත්‍රස්ත සංවිධානයක් ලෙස පිළිගැනෙන්නේ නැත. අද ප්‍රබලතම ත්‍රස්ත සංවිධානය ලෙස සැලකෙන්නේ ‘අයි.එස්.’ හෙවත් ‘ඉස්ලාමික් ස්ටේට්’ ත්‍රස්ත සංවිධානයයි.


RECOMMEND POSTS