’ඔමික්‍රෝන්’ වසංගතයේ අවසානය විය හැකියි

'ඔමික්‍රෝන්' කොරෝනා වයිරසය හේතුවෙන් මුළු ලොවම භීතියට පත්වෙද්දී, ජර්මනියේ වසංගත රෝග විශේෂඥයකු වන මහාචාර්ය කාර්ල් ලුටර්බාෂ් අපූරු අදහසක් ලොවට ඉදිරිපත් කර ඇත. මහාචාර්යවරයා පෙන්වා දී ඇත්තේ 'ඔමික්‍රෝන්' විකෘතිය බිහිවූයේ 'කොවිඩ් 19' වසංගතය අවසන් කිරීමට බවය.
''වයිරසයකට ඇත්තේ එක අරමුණයි. ඒ, නොනැසී පැවැත්ම රඳවා ගනිමින්, පිටපත් වැඩි වැඩියෙන් නිර්මාණයයි. එසේ කිරීමට නම් එය වැඩි දෙනකු අතරේ පැතිරෙන්න ඕනෑ. වයිරසය ආසාදනය වූ තැනැත්තා වයිරසයෙන් මියගියොත් හෝ ප්‍රතිශක්තියෙන් (ස්වභාවිකව හෝ එන්නත් සහ ඖෂධ මගින් හෝ) වයිරසය අඩපණ කෙරුණොත් වයිරසයට සිය අරමුණ ඉටු කරගන්න ලැබෙන්නේ නැහැ. වයිරස දරු පරම්පරා විකෘතිකරණයට ලක් වෙන්නේ එසේත් නැතිනම් එය මාතෘ වයිරසයෙන් වෙනස්වීම්වලට ලක් වන්නේ ඒ නිසයි. ඔමික්‍රෝන් ගැන තවම හරිහැටි විස්තර දන්නේ නැහැ. ඒත් දකුණු අප්‍රිකා වයිරස විශේෂඥයන්ට අනුව, බෝ වීම ඉතාමත් වැඩි වුණත්, ඔමික්‍රෝන් බරපතල රෝගී තත්ත්ව පෙන්නුම් කර නැහැ. කොවිඩ් 19 මාතෘ වයිරසය ඔමික්‍රෝන් ලෙස වෙනස් වුණේ වයිරසයේ පැවැත්ම රඳවා ගෙන, එය ආසාදනය වෙන මනුෂ්‍ය අපේත් ජීවිත රැක ගැනීමට වෙන්න පුළුවන්. කොවිඩ් 19 වසංගතයේ පවා අවසානයක් තිබිය යුතුයි. කොවිඩ් 19 වසංගතයට අවසානයක් තිබිය යුතුයි. අවසානය වෙන්න නම් එක්කෝ වයිරසය ලොවෙන් තුරන් විය යුතුයි. නැතිනම් එය සාමාන්‍ය උණ හෙම්බිරිස්සාවක් දක්වා ප්‍රබලත්වය අඩු විය යුතුයි. මා හිතන්නේ ඔමික්‍රෝන් කියන්නේ එසේ වෙනස් වුණු විකෘතියයි. කොරෝනා වසංගතයේ අවසානය මෙය විය හැකියි.'' යැයි මහාචාර්ය කාර්ල් ලුටර්බාෂ් සිය අදහස ඉදිරිපත් කර තිබේ.
මහාචාර්ය කාර්ල් ලුටර්බාෂ් මෙසේ සිය අදහස ලොවට පවසද්දී, බ්‍රිතාන්‍යයේ සහ ඇමෙරිකාවේ ද වසංගත රෝග පිළිබඳ විශේෂඥයන් එම අදහසට සහාය දක්වමින් පවසා ඇත්තේ වෛද්‍ය විද්‍යාත්මකව ලුටර්බාෂ්ගේ අදහස පිළිගත හැකි බවය. කෙසේ නමුත් තවමත් ඔමික්‍රෝන් වයිරසයේ සැබෑ ස්වරූපය නොදන්නා බැවින්, මහාචාර්ය ලුටර්බාෂ්ගේ අදහස පිළිගැනීමට හෝ බැහැර කිරීමට හෝ නොහැකි බව ද ඔවුහු පවසති.
ඊයේ (29) වනවිට 'ඔමික්‍රෝන්' විකෘතිය වාර්තා වූ රටවල් වන්නේ දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, බෙල්ජියම, හොංකොං, ඊශ්‍රායලය, මහා බ්‍රිතාන්‍යය, නෙදර්ලන්තය, ජර්මනිය, චෙක් ජනරජය, ඔස්ට්‍රියාව, ඔස්ට්‍රේලියාව, ඩෙන්මාර්කය, ඉතාලිය, ස්පාඤ්ඤය, ප්‍රංශය සහ කැනඩාවය.
ඇමෙරිකා මෙන්ම ඉන්දීය සෞඛ්‍ය අංශ ද බිය පළ කර ඇත්තේ මේ වනවිට ඇමෙරිකාවටත් ඉන්දියාවටත් මෙම නව විකෘතිය පැමිණ තිබෙනවා විය හැකි බවටය. ඇමෙරිකාවේ 'ෆයිසර්' සමාගම පවසා ඇත්තේ ඔවුන් දින 100 ක් ඇතුළත 'ඔමික්‍රෝන්' ඉලක්ක කර ගනිමින් 'ෆයිසර්' එන්නත යවත්කාලීන කරන බවය. ඉන්දියාවේ 'භාරත් බයෝටෙක්' සමාගම ද පවසා ඇත්තේ දැනටමත්, 'ඔමික්‍රෝන්' ඉලක්ක කර ගනිමින් එන්නත් වැඩි දියුණු කිරීමට පියවර ගෙන ඇති බවය.
මේ අතර, තෙවැනි බූස්ටර් මාත්‍රා ලබා දීම ප්‍රමාද කරමින්, පළමු හෝ දෙවැනි එන්නත් මාත්‍රා ලබා නොගත්, එම එන්නත් ලබා ගැනීමට සුදුසු වයස් කාණ්ඩයේ ලොව සියලුදෙනාට එන්නත් ලබා දීම කළ යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ට්‍රෙඩෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් අවධාරණය කර ඇත.
'ඔමික්‍රෝන්' වයිරසය බිහිවූයේ එසේ පළමු හෝ දෙවැනි එන්නත් මාත්‍රා ලබා දීම ප්‍රමාද වූ නිසා බවත්, තවත් ප්‍රමාද වුවහොත් ඉදිරියේ දී තව තවත් 'ඔමික්‍රෝන්' වැනි විකෘති බිහිවනු ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පෙන්වා දී තිබේ.
(ඩේලිමේල් ඇසුරිනි)

