‘ෆොනී’ සුළි කුණාටුව ඉන්දියාවට

පැයට කිලෝ මීටර් 200 ක වේගයෙන් ‘ෆොනී’ සුළි කුණාටුව උදෑසන ඉන්දියාවේ ඔඩීෂා සහ බටහිර බෙංගාල ප්‍රාන්තවලට කඩා වැදුණි.
බෙංගාල බොක්කේ හටගත් ‘ෆොනී’ සුළි කුණාටුව, ඉන්දියාවේ ඔඩීෂා සහ බටහිර බෙංගාල ප්‍රාන්ත හරහා හමා යන්න වූයේ බංගාලාදේශය පසු කරමිනි. ඉන්දීය බලධාරීන් පමණක් නොව, බංග්ලාදේශ බලධාරීහු ද වෙරළාශ්‍රිත සහ අවදානම් පළාත්වල වැසියන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට යුහුසුළු වූහ.
බංග්ලාදේශයේ ආරක්ෂිත ස්ථාන වෙත යොමු කළ ගණන ලක්ෂයකට වැඩිය. බංග්ලාදේශයේ වෙරළාශ්‍රිත දිස්ත්‍රික්ක 19 කට සුළි කුණාටුවෙන් ප්‍රබල හානි සිදුවේවි යැයි කල්තියා අනතුරු අඟවා තිබුණි. ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීම සිදුවූයේ හමුදාවේ උදව් ඇතිව යැයි බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාවේ ඔඩීෂා සහ බටහිර බෙංගාල රජය ද කාලගුණ විද්‍යාඥයන් කළ අනාවැකි සැලකිල්ලට ගනිමින්, ජනතාව ඉවත් කිරීම සිදු කළේය. ඒ, හමුදාවේ ද සහාය ඇතිවය.
ඉන්දීය පුවත් සේවා වාර්තා කළේ 7,80,000 දෙනකු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගත් බවය. සුළි කුණාටුව බංග්ලාදේශය පසු කරමින් ඉන්දියාවට කඩා වැදුණේ මහ වැසි ද සමඟය. පළාත් රැසකින් ජල ගැලීම් සහ නායයෑම් වාර්තා විය.
සුළි කුණාටුව හේතුවෙන් ඉන්දියාවේ ඔඩීෂා සහ බටහිර බෙංගාල ප්‍රාන්තවල ප්‍රධාන ගුවන්තොටුපොළ වසා දමා ඇත.
ගුවන්තොටුපොළ වෙත පැමිණෙන ගුවන් යානා වෙනත් ගුවන් තොටුපොළ වෙත යොමු කෙරෙන බව පැවැසෙයි. දුම්රිය ගමන් ද සුළි කුණාටුව හේතුවෙන් අඩපණ වී ඇතැයි මාධ්‍ය වාර්තා සඳහන් කරයි. බෙංගාල බොක්ක ආශ්‍රිතව දශක දෙකකට පසු නිර්මාණය වූ ප්රචණ්ඩ සුළි කුණාටුව ෆොනී යැයි ඉන්දීය කාලගුණ විද්‍යාඥයෝ බිය පළ කර ඇත.
නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)

