‘පද්මාවත්’ ගැන බියක්

ඉන්දීය රැඟුම් පාලක මණ්ඩලයේ සංශෝධනවලට ලක් වී, ‘පද්මාවත්’ බවට පරිවර්තනය වුණු ‘පද්මාවතී’ චිත්‍රපටය හෙට (25) ඉන්දියාවේ තිරගත වීමට නියමිත අතර එය ඉන්දියාව කැළැඹීමට සමත් වනු ඇතැයි බයක් හටගෙන ඇත.
‘පද්මාවත්’ චිත්‍රපටය ප්‍රදර්ශනය කළොත් තමන් ගින්නට පැන දිවි නසා ගන්නවා යැයි රාජස්ථාන ප්‍රාන්තයේ කාන්තාවන් දහසකට වැඩි පිරිසක් ප්‍රතිඥා දී තිබේ. චිත්‍රපටය ප්‍රදර්ශනය තහනම් කරන්නැයි ප්‍රාන්ත බලධාරීන්ට බලපෑම් එල්ල වී ඇත්තේ හින්දු ජාතිකවාදී කල්ලිවලිනි.
‘පද්මාවත්’ ප්‍රදර්ශනය තහනම් කිරීමට ප්‍රාන්ත අධිකරණවලට කිසිදු බලයක් නැතැයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් 18 වැනිදා තීන්දුවක් ලබා දුන්නේය. ඒ අනුව, ප්‍රාන්ත මට්ටමින් එය ප්‍රදර්ශනය තහනම් කිරීමට ප්‍රාන්ත රජයයන්ට හැකියාවක් ලැබී නැත. චිත්‍රපටය අනිවාර්යයෙන්ම ප්‍රදර්ශනය කළ යුතු බවත් කිසිවකුට ඊට රහස් විය නොහැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
මේ අතර, ආන්දෝලනයට හේතු වුණු ‘පද්මාවත්’ චිත්‍රපටය ජනතාව අතරේ ආන්දෝලනයක් ඇති කළ ද එය තවමත් නීරස සිනමා නිර්මාණයක් යැයි ඇතැම් ඉන්දීය චිත්‍රපට විචාරකයෝ කියති. ඉන්දීය සිනමා විචාරකයන් සහ මාධ්‍යවේදීන් වෙනුවෙන් ඊයේ විශේෂ දර්ශනවාර කිහිපයක් මුම්බායි නුවරදී පැවැත්විණි.
චිත්‍රපටයේ පද්මාවතී රැජිනගේ චරිතයට පණ පොවන්නේ, බොලිවුඞ් නිළි දීපිකා පදුකෝන්ය. ඊට අමතරව රන්වීර් සිං, සහ ෂාහිද් කපූර් ද ප්‍රධාන චරිත නිරූපණය කරති. විචාරකයන්ගේ පැසැසුමට ලක් වී ඇත්තේ රන්වීන් සිංගේ චරිතය පමණි. දීපිකා පදුකෝන්, පද්මාවතී රැජින ලෙස එම චරිතයට කිසිදු සාධාරණයක් ඉටු නොකරන බව ද සිනමා විචාරකයෝ පැහැදිලි කරති.

මේ අතර, පද්මාවතී රැජිනගේ චරිතයට පණ පොවන දීපිකා පදුකෝන් නවදිල්ලි නුවර සුප්‍රසිද්ධ සිද්ධිවිනායක් හින්දු කෝවිලේ විශේෂ ආශිර්වාද පූජාවකට ද සහභාගී වූවාය. දීපිකා පදුකෝන් කෝවිල වෙත පැමිණියේ විශේෂ පොලිස් ආරක්ෂාවක් මැදය. පද්වාමතී රැජිනට පණ පෙවීම හේතුවෙන් දීපිකාට පසුගිය කාලයේ මරණීය තර්ජන එල්ල විය. හින්දු ජාතිකවාදීන් කියා සිටියේ ඇගේ හිස ගසා දමන අයකුට තමන් මුදල් ත්‍යාගයක් ද ලබා දෙන බවය. චිත්‍රපටයේ අධ්යක්ෂ සන්ජේ ලීලා බන්සාලිට ද මරණ තර්ජන එල්ල වී ඇත.
(එන්.ඩී.ටීවී.)

