ළැව් ගිනි නිවන්න විදෙස් සහාය ඕනෑ නෑ



ඇමසන් වැසි වනාන්තරයේ පැතිර යන ළැව් ගිනි නිවා දැමීමට බ්‍රසීල රජයට සහාය දැක්වීමට ‘ජී7’ ලෝක නායකයන් කැමැත්ත පළ කර ඇති නමුත් බ්‍රසීල රජය පවසා ඇත්තේ ළැව් ගිනි නිවා දැමීමට විදෙස් සහාය අවශ්‍ය නොවන බවය.

‘ජී7’ හෙවත් ලොව ප්‍රබල ආර්ථිකයන්ට හිමිකම් කියන රාජ්‍ය නායකයන්ගේ සමුළුව පසුගිය සති අන්තයේ ප්‍රංශයේ පැවැත්විණි. මෙවර සමුළුව මෙහෙයවීම කළේ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ය.

ප්‍රංශ ජනාධිපති මැදිහත් වී, ඇමසන් ළැව් ගිනි නිවීමට අවශ්‍ය මූල්‍යමය සහ තාක්ෂණික සහාය බ්‍රසීල රජයට ලබා දිය යුතු යැයි සෙසු ලෝක නායකයන් කැමැති කර ගත්තේය. ඒ අනුව, ඇමසන් ළැව් ගිනි නිවීමට බ්‍රසීල රජයට ඇමෙරිකන් ඩොලර් මිලියන 20 ක මුදලක් ලබා දීමට එකඟතාව පළ කෙරුණි.

කෙසේ නමුත් බ්‍රසීල ජනාධිපති බොල්සරානෝ වෙනුවෙන් ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ඔන්යක්ස් ලොරේනෝසී ‘ජී1’ පුවත් වෙබ් අඩවිය හරහා ‘ජී7’ නායකයන්ගේ සහාය ප්‍රතික්ෂේප කර තිබේ. ‘ජී7 ලෝක නායකයක් උදව් කිරීමට ඉදිරිපත්වීම අපි අගය කරනවා. ඒත් ඔවුන් ලබා දීමට සූදානම් වුණු තාක්ෂණික දැනුම සහ මුදල් යුරෝපා වැසි වනාන්තර වෙනුවෙන් යොදවීමයි කළ යුත්තේ’ යැයි ඔන්යක්ස් ලොරේනෝසී පවසා ඇත.

‘ප්‍රංශ ජනාධිපති මැක්රොන් දේශපාලනික වශයෙන් වාසි ගන්න ඇමසන් වනාන්තරය ගැන දුක් වෙනවා. ලෝක උරුමයක් ද වන ප්‍රංශයේ නොත්‍රදාම් දෙව් මැදුර පසුගිය අප්‍රේල්වල ගිනිගෙන විනාශ වුණා. ලෝක පූජිත නොත්‍රදාම් දෙව් මැදුර ආරක්ෂා කරන්න ජනපති මැක්රොන්ට බැරිවුණා. දැන් ඔහු හදනවා ඇමසන් වනාන්තරය ආරක්ෂා කරන්න. ඇමසන් වනාන්තරයේ ළැව් ගිනි බ්‍රසීල අපේ ප්‍රශ්නයක්. අපි ඒ ගැන බලා ගන්නම්’ යැයි ඔන්යක්ස් ලොරේනෝසී ‘ජී1’ වෙබ් අඩවියට අදහස් දක්වමින් පවසා තිබේ.

බ්‍රසීලියාහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS