ළැව් ගිනි ඉහවහා යද්දී අහස රතුවෙලා

ඉන්දුනීසියාවට අයත් සුමාත්‍රා සහ බෝනියෝ දූපතේ මාසයක පමණ කාලයක් පුරා පැතිරෙන ළැව් ගිනි හේතුවෙන් ඉන්දුනීසියාවේ පළාත් රැසක අහස තැඹිලි මිශ්‍ර රතු පැහැයක් ගෙන ඇති බවත්, පැතිර යන විස දුමාරය හේතුවෙන් ඉන්දුනීසියානු වැසියන් මහත් පීඩාවට පත් වී සිටින බවත් වාර්තා වේ.
ළැව් ගිනි හේතුවෙන් නැගුණු විස දුමෙන් ජැම්බි නමැති පළාත මුළුමනින්ම වැසී ගොස් ඇත. එම පළාතේ වැසියන් තම ගම්බිම් අතහැර ගොස් ඇති බව ද පැවැසෙයි. සියයකට ආසන්න පිරිසක් රෝහල්ගත කෙරුණු ඉන්දුනීසියා පුවත් සේවා වාර්තා කරයි.
ජැම්බි පළාතේ අහස රතු පැහැයෙන් දිස්වන්නේ, වාතයට එක් වුණු දුම් වළා සහ දූවිලි අංශු අතරින් හිරු එළිය ගමන් කරද්දී යැයි විද්‍යාඥයෝ පැහැදිලි කරති.
මේ වනවිට ලක්ෂයකට වැඩි ගිනි නිවන භටයන් පිරිසක් ළැව් ගිනි නිවාදැමීමට වෙහෙසන නමුත් ඔවුන්ට ළැව් ගිනි නිවා දැමීමට හෝ මර්දනය කිරීමට හෝ හැකියාවක් ලැබී නැත. ළැව් ගිනි පැතිරයෑම ආරම්භ වූයේ වගා බිම් සඳහා ඉවක් බවක් නොමැතිව වනාන්තර හෙළිපෙහෙළි කිරීම සහ ගිනි තැබීමත් සිදුවුණු නිසාය.
ඉන්දුනීසියාවේ පාසල් සියල්ල පාහේ මේ වනවිට වසා දමා ඇති බව බලධාරීහු කියති. ඉන්දුනීසියාවේ දූපත්වලින් නැගෙන විස දුමාරය අසල්වැසි මැලේසියාවටත් සිංගප්පූරුවටත් පැතිර ගොස් ඇති බවත් එම රටවල වැසියන් ද මහත් සේ පීඩාවට පත් වී සිටින බවත් වාර්තා වේ.
ජකර්තාහිදීය (රොයිටර්ස්)

