හොන්ඩුරාස් ජනපතිගේ තත්ත්වය බරපතල නෑ



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයකු යැයි හඳුනා ගැනීමෙන් පසු රෝහල් ගත කළ හොන්ඩුරාස් ජනාධිපති යුවාන් ඕලෑන්ඩෝ හර්නැන්ඬේස්ගේ තත්ත්වය බරපතල නොවන බව වෛද්‍යවරු කියති.

ජනාධිපතිවරයා ප්‍රතිකාර ලබන බව පැවැසෙන්නේ ටෙගුසිගල්පා අගනුවර හමුදා රෝහලේය. ‘ජනාධිපතිවරයාගේ තත්ත්වය බරපතල නැහැ. අප පැය 24 පුරා ඔහු ගැන විමසිල්ලෙන් පසුවෙනවා. ඔහුට ‘කොවිඞ් 19’ වයිරසය පරාජය කළ හැකි බව අපට විශ්වාසයි’ යැයි වෛද්‍ය සීසර් ඇරෝන් මාධ්‍ය හමුවේ පවසා තිබේ.

හොන්ඩුරාස් ජනාධිපතිවරයා රෝහල් ගත කෙරුණේ පසුගිය 17 වැනිදාය. ඒ උණ, ස්වසන අපහසුතා හේතුවෙනි. ඔහු කඩිනමින් වෛද්‍ය පරීක්ෂණවලට යොමු කෙරුණු අවස්ථාවේදී ‘කොවිඞ් 19’ ආසාදිතයකු බව තහවුරු විය.

හොන්ඩුරාස් යනු ලතින් ඇමෙරිකාවට අයත්, ලතින් ඇමෙරිකාව මැද පිහිටි රාජ්‍යයකි. චීනයෙන් ආරම්භ වූ ‘කොවිඞ් 19’ නව කොරෝනා වයිරසයේ මේ වනවිට කේන්ද්‍රස්ථානය වී ඇත්තේ ලතින් ඇමෙරිකාවය. හොන්ඩුරාස් රාජ්‍යයෙන් වාර්තා වන ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන 10,299 කි. එයින් 1,116 ක් සුවය ලබා ඇති බවත් මරණ 336 ක් වාර්තා වන බවත් සෞඛ්‍ය බලධාරීන් නිකුත් කළ වාර්තාවල දැක්වෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS