හොංකොං ප්‍රාදේශීය මැතිවරණයෙන් විපක්ෂයට ජය



හොංකොං ප්‍රාදේශීය මැතිවරණයෙන් විපක්ෂ දේශපාලන කණ්ඩායම් ඉදිරියට පැමිණ සිටී. චීනයට අයත්, ස්වයං පාලන ප්‍රදේශයක් වන හොංකොං හි දිස්ත්‍රික් පාලක මණ්ඩලයට නියෝජිතයන් තෝරා ගැනීම සඳහා මැතිවරණය පැවැත්විණි.

දිස්ත්‍රික් පාලක මණ්ඩලය ආසන 452 කින් සමන්විත වන අතර ආසන 390 ක් විපක්ෂය වන ප්‍රජාතන්ත්‍ර හිතවාදී පෙරමුණ විසින් ජයග්‍රහණය කරනු ලැබුණි. චීන හිතවාදී හොංකොං පාලක පක්ෂයට දිනා ගැනීමට හැකිවූයේ ආසන 28 ක් පමණි. මෙය චීන හිතවාදී පාලක පක්ෂය ලැබූ ප්‍රබල පරාජයක් බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

හොංකොං අතීතයේ චීනයේ කොටසක් විය. පසුව එය බි්‍රතාන්‍ය යටක් විජිත කොලනියක් බවට පත් විය. 1997 දී හොංකොං යළි චීනයට හිමිවුවත්, හොංකොං වෙනුවෙන් වෙනම පාලනයක් හිමිවිය. හොංකොං පාලනය කරන්නේ චීන හිතවාදී පාලක මණ්ඩලයක් මගිනි. ඊට නායකත්වය දෙන්නේ කාන්තාවකි. ඇය කැරී ලෑම් ය.

පසුගිය මාස 6 පුරාවට හොංකොං හි විරෝධතා පැවැත්විණි. ඒ, කැරී ලෑම් ප්‍රමුඛ පාලක මණ්ඩලය නව උදර්පණ පනත් කෙටුම්පතක් හඳුන්වා දීමට උත්සාහ ගැනීමත් සමඟය. එම උදර්පණ කෙටුම්පත සම්මත වූයේ නම් හොංකොං හි වෙසෙන චීන රජයේ උදහසට ලක්වුණු ඕනෑම අයකු චීනයට ගෙන්වා ගැනීමට ඉඩක් සැලසෙනු ඇත.

කෙසේ නමුත් ජනතා විරෝධය හමුවේ උදර්පණ පනත් කෙටුම්පත හකුලා ගැනීමට හොංකොං පාලක මණ්ඩලයට සිදුවිය. හොංකොං හි චීන රජයේ උදහසකට ලක් වුණු බොහෝ දෙනකු වාසය කරයි. ඒ අතරින් වැඩිදෙනා චීන දේශපාලන ක්‍රියාකාරීන්ය.

උදර්පණ පනත් කෙටුම්පත හකුලා ගැනීමෙන් පසුව ද විරෝධතා දිගටම පැවැත්විණි. ඒ, විපක්ෂ කණ්ඩායම් නියෝජනය කරන විරෝධතාකරුවන් අනෙකුත් ඉල්ලීම් මුල්කර ගනිමින් ද විරෝධතා ආරම්භ කළ නිසාය.

හොංකොංහිදීය (රොයිටර්)


RECOMMEND POSTS