හිටපු ජනපති ලූලා ද සිල්වා ඉදිරියට



බ්‍රසීල ජනාධිපතිවරණය, පැවැත්වුණු අතර, ඊට ඉදිරිපත් වූ හිටපු ජනාධිපති ලූලා ද සිල්වා, වත්මන් ජනාධිපති ජාර් බොල්සරානෝට අභියෝගයක් වෙමින් ඉදිරියට පැමිණියේය.

කෙසේ නමුත්, ලූලා ද සිල්වාට හෝ ජාර් බොල්සරානෝට හෝ සියයට 50 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගැනීමට නොහැකි විය. ඒ අනුව, ඔවුන් දෙදෙනා අතරේ ලබන 30 වැනිදා දෙවැනි වටයක් පැවැත්වෙන බව මැතිවරණ කොමිසම පැවැසීය.

76 හැවිරිදි, වාමාංශික ලූලා ද සිල්වා නියෝජනය කරන්නේ කම්කරු පක්ෂයයි. 67 හැවිරිදි අන්ත දක්ෂිණාංශික ජාර් බොල්සරානෝ නියෝජනය කරන්නේ ලිබරල් පක්ෂයයි. බොල්සරානෝ, බ්‍රසීල ජනාධිපති ධුරය හොබවන්නේ, 2019 වසරේ සිටය.

ලූලා ද සිල්වා බ්‍රසීලයේ ජනාධිපති ධුරය හෙබවූයේ 2003 සිට 2010 තෙක් කාලයේය. 2018 වසරේ දී දූෂණ චෝදනාවලට වරදකරු වුණු ලූලා ද සිල්වාට සිරදඬුවම් පවා හිමිවිය. එල්ල වුණු සියලු දූෂණ චෝදනා ලූලා ද සිල්වා තරයේ ප්‍රතික්ෂේප කර ඇත.

ජනාධිපතිවරණයෙන් ලූලා ද සිල්වා ද සියයට 47.6 ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගත් අතර,බොල්සරානෝට හිමිකර ගැනීමට හැකි වූයේ සියයට 43.9 ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.

ජනාධිපතිවරණයට අමතරව, උප ජනාධිපතිවරයා තෝරා ගැනීම ද සිදුවෙයි. ඊට අමතරව, ජාතික කොංග්‍රස් සභාවට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහාත්, ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් මෙන්ම පළාත් සඳහාත් නියෝජිතයන් පත් කර ගැනීම ද සිදුවෙයි.

දකුණු ඇමෙරිකා රාජ්‍යයක් වන බ්‍රසීලයේ ජනාධිපතිවරණය පැවැත්වූයේ ආහාර මිල ඉහළ යෑම, ධරිද්‍රතාව ඉහළ යෑම ආදී අර්බුදවලින් බ්‍රසීල වැසියන් පීඩාවට පත් වී සිටින අවස්ථාවකය. මිලියන 156 ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටියහ.

(රොයිටර්)

 


RECOMMEND POSTS