හිටපු ජනපති මුෂාරෆ්ට මරණ දඬුවම



හදිසි නීතිය පනවා, ව්‍යවස්ථාව අත්හිටුවමින්, දිගටම බලයේ රැඳී සිටීමට උත්සාහ ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් පාකිස්තානයේ හිටපු හමුදා නායක පර්වේස් මුෂාරෆ් ට මරණ දඬුවම හිමිවිය.

මුෂාරෆ්ට එල්ල වූ චෝදනා පිළිබඳ එම නඩු විභාගය පැවැත්වූයේ දේශද්‍රෝහී ක්‍රියා සම්බන්ධයෙන් තීන්දු ලබා දෙන ඉස්ලාමාබාද් නුවර විශේෂ අධිකරණයේ, ත්‍රීපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේය.

මුෂාරෆ්ට එරෙහි චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගය පැවැත්වෙන්නේ 2013 වසරේ සිටය. හමුදාපති ලෙස ජනරාල් මුෂාරෆ්, හමුදා කුමන්ත්‍රණයකින් පාකිස්තානයේ බලය අල්ලා ගත්තේ 1999 දීය. ඒ කිසිදු ලේ වැගිරීමකින් තොරවය. අර්බුද රැසක් හේතුවෙන් අස්ථාවර වූ පාකිස්තානයට ශක්තිමත් නායකත්වක් දීමට ජනරාල් මුෂාරෆ් ට හැකිවිණි.

2001 සිට 2008 දක්වා පාකිස්තාන ජනාධිපති ලෙස මුෂාරෆ් කටයුතු කළේය. 2007 වසරේ දී මුෂාරෆ් ව්‍යවස්ථාව අත්හිටුවා, හදිසි නීතිය ක්‍රියාත්මක කළේ දිගටම ජනපති ධුරයේ රැඳී සිටීමට උත්සාහ ගනිමිනි.

එම අවස්ථාවේදී මුෂාරෆ් ට එරෙහිව ජනතා විරෝධයක් නැගුණි. 2008 දී ජනපති මුෂාරෆ්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් උත්සාහ කළේය. කෙසේ නමුත් දෝෂාභියෝගයට පෙර මුෂාරෆ් ධුරයෙන් ඉවත් විය.

මුෂාරෆ්ට එරෙහි දෝෂාභියෝගය ගෙන ඒමට කටයුතු කළේ නවාස් ෂරීෆ් ප්‍රමුඛ විපක්ෂ දේශපාලන කණ්ඩායම් ය. හමුදාපති ලෙස මුෂාරෆ්, කුමන්ත්‍රණය කර පාකිස්තානයේ බලය අල්ලා ගත්තේ අගමැති ධුරයේ සිටි නවාස් ෂරීෆ් බලයෙන් නෙරපමිණි.

නවාස් ෂරීෆ් 2013 පැවැති මැතිවරණය ජය ගනිමින් යළි අගමැති ධුරයට පත් විය. වත්මන් අගමැති ඉම්රාන් ඛාන් බලයට පත් වූයේ පසුගිය 2018 වසරේ පැවැති මහ මැතිවරණයෙන් අගමැති නවාස් ෂරීෆ් ප්‍රමුඛ ‘මුස්ලිම් ලීගය එන්’ දේශපාලන පක්ෂය පරාජය කරමිණි.

නවාස් ෂරීෆ්ට ද මූල්‍ය වංචා චෝදනා එල්ල වී තිබේ. එම චෝදනාවලට නවාස් ෂරීෆ් වරදකරු වූ අතර ඔහුට දස වසරක සිරදඬුවමක් ද නියම විය. කෙසේ නමුත් නවාස් ෂරීෆ් ට අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් විදෙස්ගතව ප්‍රතිකාර ලබා ගැනීමට අධිකරණයෙන් ඇප නියම වී තිබේ.

නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ අවස්ථාවේදී පර්වේස් මුෂාරෆ් අධිකරණයේ පෙනී සිටියේ නැත.

76 හැවිරිදි මුෂාරෆ් අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවෙයි. මේ වනවිට ඔහු 2016 වසරේ සිට ජීවත් වන්නේ ඩුබායි නුවරය. මුෂාරෆ් ඩුබායි බලා ගියේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණයෙන් විශේෂ අවසරයක් ලබා ගනිමිනි.

ලොව මරණ දඬුවම ක්‍රියාත්මක කරන රටවල් අතරට පාකිස්තානය ද අයත් වෙයි. 2014 දී හත් දෙනකු ද 2015 දී 326 දෙනකු ද, 2016 දී 87 දෙනකු ද, 2018 දී 14 දෙනකු ද එල්ලා මරා දැමීම සිදුවිය.

ඉස්ලාමාබාද්හිදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS