හිටපු ජනපතිනිය වසර 24 ක් හිරේ

බලයේ සිටිද්දී, බලතල අයථා ලෙස භාවිතා කරමින්, මූල්‍ය වංචා රැසක් සිදු කළ බවට චෝදනා ලැබ එම චෝදනා සම්බන්ධයෙන් වරදකාරිය වුණු දකුණු කොරියානු හිටපු ජනාධිපතිනී පාක් ග්වෙන් හේට 24 වසරක සිරදඬුවමක් හිමිවිය.
නඩු විභාගය සජීවීව දකුණු කොරියානු පුවත් නාළිකා ඔස්සේ විකාශය විය. නඩු තීන්දුව ඇසීමෙන්, පාක් ග්වෙන් හේගේ ආධාරකරුවෝ මහත් සේ කම්පාවට පත් වුණැයි ද දකුණු කොරියානු පුවත් සේවා වාර්තා කර තිබේ.
පාක් ග්වෙන් හේ දකුණු කොරියාවේ පළමු ජනාධිපතිවරිය වන්නීය. ඇය දකුණු කොරියාවේ ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේ 2013 වසරේදීය. ජනාධිපතිනිය ලෙස පාක් ග්වෙන් හේ, ඇගේ සමීපතම මිතුරිය වන චෝයි සූන් සිල් සමීප උපදේශිකාවක ලෙස පත් කර ගත්තාය.
රජයේ කටයුතු රැසකට චෝයි සූන් සිල් සම්බන්ධ වූ අතර සියලු දූෂණ වංචා සිදුවී ඇත්තේ ඇය හරහා යැයි ද පැවැසෙයි. චෝයි සූන් සිල් සම්බන්ධයෙන් චෝදනා නැගෙද්දී ඇය සමඟ ඇති සබඳතා සියල්ල නවතා දැමීමටත්, ඒ සම්බන්ධයෙන් රට වැසියන්ගෙන් සමාව ඉල්ලීමක් කිරීමටත් පාක් ග්වෙන් හේ කටයුතු කළාය. චෝයි සූන් සිල්ට ද චෝදනා එල්ල වී ඇති අතර, ඇය සම්බන්ධයෙන් ද නඩු විභාගයක් පැවැත්වෙයි.
කෙසේ නමුත් ඒ වනවිටත් ඇයට එරෙහිව ජනතා විරෝධයක් ගොඩ නැගී තිබුණි. පාක් ග්වෙන් හේට ජනපති ධුරය අහිමි වූයේ ද මෙම චෝදනා හේතුවෙන් අධිකරණය ඇය අත්අඩංගුවට ගන්නැයි නියම කළ අවස්ථාවේදීය. පාක් ග්වෙන් හේ අත්අඩංගුවට ගැණුනේ 2017 මාර්තු 31 වැනිදා වන අතර ඇයට එරෙහි නඩු විභාගය ඇරැඹුණේ 2017 වසරේ මැයි 23 වැනිදාය.
(ඒ.එෆ්.පී.)

