හිටපු උප ජනපති ඉන්දියාවට පනී

මාලදිවයින හිටපු උප ජනාධිපතිවරයකු වන අහ්මද් අඩීබ් දේශපාලන රැකවරණ ඉල්ලමින්, බෝට්ටුවකින් ඉන්දියාවට පලා ගොස් ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
ජනපති ඝාතන කුමන්ත්‍රණයකට සම්බන්ධ වීම, මුදල් විශුද්ධිකරණය සහ දූෂණ වංචා රැසක් සම්බන්ධයෙන් අඩීබ් චෝදනා ලැබ සිටී. අඩීබ් වසර තුනක් බන්ධනාගාරගතව සිටියේය.
අහ්මද් අඩීබ්ට ඉන්දියාවට පලා ගොස් ඇත්තේ, මාලදිවයින ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට රටින් පිටවීම තහනම් කර තිබියදීය. ඒ, එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් නඩු විභාග පැවැත්වීමට නියමිත බැවිනි. අහ්මද් අඩීබ් පවසන්නේ තමන්ට එල්ල වන චෝදනා අසත්‍ය බවත්, තමන් දේශපාලන පළිගැනීම්වලට ලක්වුණු අයකු බවත්ය.
අහ්මද් අඩීබ් පවුලේ අය සහ තවත් සරණාගතයන් පිරිසක් සමඟ තමිල්නාඩුවේ තූත්තුකුඩි බලා පැමිණ ඇතැයි ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් තහවුරු කර ඇත. අහ්මද් අඩීබ් ඇතුළු පිරිස මේ වනවිට රඳවා තබා ගැනීමට ඉන්දීය ආරක්ෂක අංශ කටයුතු කර ඇත. ඉන්දීය විදේශ අමත්‍යාංශය පවසා ඇත්තේ අහ්මද් අඩීබ් නීතිවිරෝධී ආකාරයෙන් ඉන්දියාවට පැමිණ ඇති හෙයින්, ඔහුට දේශපලාන රැකවරණ දීම පිළිබඳ ගැටලු මතු වී ඇති බවය.
2015 වසරේ, මාලදිවයින දූපත් රාජ්‍යයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේ අබ්දුල්ලා යමීන් ය. යමීන් ජනපති ධුරයට පත් වෙද්දී, උප ජනාධිපති ධුරය හෙබවූයේ අහ්මද් අඩීබ් ය. උප ජනපති ධුරයට පත් වෙද්දී, අඩීබ්ගේ වයස අවුරුදු 33 කි. එම ධුරයට පත් ළාබාලතම තැනැත්තා වූයේ ඔහුය.
ජනපති අබ්දුල්ලා යමීන්, කුඩා බෝට්ටවකින් යද්දී, එහි පිපිරීමක් සිදුවිය. එය ජනාධිපතිවරයා ඝාතනය කිරීමට තැත් කිරීමක් බවත්, ඒ පසුපස අඩීබ් සිටින බවටත් චෝදනා එල්ල විය. බෝට්ටුවේ සිදුවුණු පිපිරීමෙන් අබ්දුල්ලා යමීන් දිවි ගලවා ගත් නමුත්, ඔහුගේ බිරිඳ සහ ආරක්ෂක නිලධාරීන් දෙදෙනක් තුවාල ලැබූහ.
මාලේහිදීය (රොයිටර්ස්)

