හිටපු අගමැති නවාස් ෂරීෆ් අසනීපෙන්



අයථා මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් වරදකරු වී, දස වසරක සිරදඬුවමක් ලැබ බන්ධනාගාරගත කර සිටින, පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව පාකිස්තාන පුවත් සේවා වාර්තා කරයි.

හිටපු අග්‍රාමාත්‍යවරයාගේ සිරුරේ රුධිර පට්ටිකා (ප්ලේට්ලට්) අඩුවෙමින් පවතින බවත්, බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ලාහෝර් රෝහලකට ඇතුළත් කර, ඒ සඳහා ප්‍රතිකාර ලබා දෙන බවත් පාකිස්තාන පුවත් සේවා වැඩිදුරටත් වාර්තා කර තිබේ. වෛද්‍යවරුන්  කියා සිටියේ නවාස් ෂරීෆ්ගේ රුධිර පට්ඨිකා 7,000 තෙක් හිටිහැටියේ අඩුවුණු බවය. රුධිර පට්ටිකා ප්‍රමාණය ඉහළ දැමීමට බාහිරව රුධිර පට්ටිකා සිරුරට ලබා දීම ද සිදු කළ බව වෛද්‍යවරු වැඩිදුරටත් කියා සිටිති.

බන්ධනාගාරයේ දී නවාස් ෂරීෆ් වස දීමකට ලක් වී ඇතැයි තමන් සැක කරන බව, ෂරීෆ්ගේ සොහොයුරු ෂෙබාස් ෂරීෆ් චෝදනා කර තිබේ. ඔහු මෙසේ චෝදනා කළේ බන්ධනාගාරයට ගොස් නවාස් ෂරීෆ් හමුවීමෙන් පසුව යැයි ද මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

රෝගී තත්ත්වය සැලකිල්ලට ගනිමින් හිටලු අගමැති ෂරීෆ්ට ඇප ලබා ගැනීමට ද සොයුරු ෂෙබාස් ෂරීෆ් උත්සාහ ගන්නා බව ද පැවැසෙයි. මේ අතර, පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්, හිටපු අගමැති නවාස් ෂරීෆ් සම්බන්ධයෙන් අදහස් පළ කර ඇත. දේශපාලන ඉදිරිවාරිකම් කුමක් වුවත්, තමන් හිටපු අගමැති ෂරීෆ්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බව ඉම්රාන් පවසා තිබේ.

ලාහෝරයේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS