හැකි සෑම අයුරින්ම චීනයට උදව් කරනවා



චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ආරම්භ වුණු කන කොරෝනා වයිරසය මර්දනයට හැකි සෑම අයුරින්ම චීනයට සහාය ලබා දීමට තමන් සූදානම් යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඊයේ (28) පැවැසීය.

ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ වයිරසය හේතුවෙන් මියගිය ගණන 106 තෙක් ඉහළ යෑමත් සමඟය. වයිරසය හේතුවෙන් මරණ වාර්තා වන්නේ චීනයෙන් පමණි. නව කොරෝනා වයිරසය චීනයේ බීජීං අගනුවරට ද පැතිර ගොස් ඇති අතර, ඊයේ (28) බීජීං අගනුවරින් පළමු මරණය වාර්තා විය. මීට අමතරව ජර්මනියෙන් ද පළමු වරට කොරෝනා වයිරස රෝගියකු හමුවිය.

ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලින් ද ආසියානු රටවලින් ද රෝගීන් වාර්තා වී ඇත. ඒ සියල්ලන්ම චීනයේ වූහාන් නගරයෙන් හෝ හුබෙයි පළාතෙන් හෝ පැමිණි අය බව තහවුරු වී තිබේ. වැඩිම රෝගීන් හමුවී ඇත්තේ චීනයෙනි. වයිරසය ආසාදනය වූ රෝගීන් ගණන 4,000 ඉක්මවා ඇතැයි ඊයේ (28) වාර්තා විය. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ ‘සර්ස්’ වයිරසයටත් වඩා මෙම නව කොරෝනා වයිරසය මාරක බවය. ‘සර්ස්’ යනු 2002 සහ 2003 අතර ලොව පුරා පැතිරුණු බිහිසුණු කොරෝනා වයිරසයකි. ‘සර්ස්’ වයිරසයට බිලිවුණු ගණන 774 කි. ‘සර්ස්’ නිසා රෝගී වූ ගණන 8,098 කි.

නව වයිරසය හේතුවෙන් චීනයට යෑමෙන් වළකින්නැයි ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව ඊයේ (28) ඇමෙරිකානුවන්ට දැනුම් දුන්නේය. වයිරසය මර්දනය සඳහාත් එය පැතිරීම වැළැක්වීම සඳහාත් චීනයට ඇමෙරිකාවේ සහාය නොඅඩුව ලබා දෙන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පැවැසුවේ ඉන්පසුවය.

ඇමෙරිකාවත් චීනයත් අතර වෙළෙඳ යුද්ධයක් පවතී. ඒ ඇමෙරිකාව චීනයටත් චීනය පෙරළා යළි ඇමෙරිකාවටත් තීරු බදු පනවමිනි. එම වෙළෙඳ යුද්ධය ගෝලීය ආර්ථිකයට බලපෑම් එල්ල කළේය. කෙසේ නමුත් පසුගිය මාස කිහිපයේ දෙරටේ නියෝජිතයන් සමඟ සාකච්ඡා පවත්වමින් අර්බුදය යම්තාක් දුරකට සමතයකට පත් කර ගැනීමට ඇමෙරිකාවටත් චීනයටත් හැකිවිය.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS