හඳුනා ගන්න බැරි වස්තුවක් පෘථිවිය දෙසට ඇවිල්ලා



ග්‍රහකයක් හෝ වල්ගාතරුවක් හෝ නොවන, හඳුනා ගැනීමට නොහැකි අබිරහස් වස්තුවක් පෘථිවිය දෙසට වේගයෙන් ඇදී ආ බව ඇමෙරිකා නාසා ආයතනය පවසයි.

නාසා ආයතනය මේ බව පළමුවෙන් නිවේදනය කළේ පසුගිය පළමු වැනිදාය. ඒ, කොරෝනා ජරමර මැද, හදිසි මාධ්‍ය හමුවක් කැඳවමිනි. නාසා ආයතනයේ තාරකා විද්‍යාඥයන්, ඔවුන්ට හඳුනා ගැනීමට නොහැකි වූ වස්තුවක් ගැන ලොවට අනාවරණය කළ පළමු අවස්ථාව ද එය විය.

අබිරහස් වස්තුව කුමක්දැයි සොයා බැලීම ලහිලහියේ සිදුවිය. නාසා ආයතනය අනුමාන කළේ එය පෘථිවියෙන් ගවේෂණ යානා රැගෙන අභ්‍යවකාශයට ගිය රොකට්ටුවක කොටසක් විය හැකි බවත්, එම රොකට්ටුව එය ගිය ගමන් මඟ ඔස්සේ ආපසු පෘථිවියට කඩා වැටීමට පැමිණෙනු ඇති බවත්ය.

අවසානයේ නාසා ආයතනය අබිරහස් වස්තුව කුමක්දැයි හඳුනා ගත්තේය. එය 1966 දී ‘සර්වියර් 2’ යානය අභ්‍යවකාශයට රැගෙන ගොස් මුදා හැරිය ‘සෙන්ටෝර්’ රොකට්ටුවේ අතහැර දැමුණු ඇන්ජින් කොටස බව තහවුරු විය. ‘සර්වියර් 2’ මෙහෙයුම සිදුවූයේ 1966 සැප්තැම්බර් 22 වැනිදාය. එය ආසර්ථක වූ සඳ ගවේෂණ මෙහෙයුමකි.

රොයිටර් ඇසුරිනි


RECOMMEND POSTS