සෝනියා ගාන්ධිත් ඡන්ද සටනට
එලැඹෙන ඉන්දීය මහ මැතිවරණයට ඉදිරිපත් වන කොංග්රස් පක්ෂ මුල් පෙළ අපේක්ෂකයන් 15 දෙනාගේ නාම ලේඛනය ප්‍රසිද්ධියට පත් කෙරුණු අතර, කොංග්රස් පක්ෂයේ සභාපති රාහුල් ගාන්ධිගේ පමණක් නොව, හිටපු සභාපතිනිය මෙන්ම රාහුල්ගේ මව සෝනියා ගාන්ධිගේ නම ද ඊට ඇතුළත්ය.
රාහුල්ට පක්ෂ සභාපති ධුරය ලබා දීමට කටයුතු සලසා දෙමින්, සෝනියා එම ධුරයෙන් ඉවත් වූයේ 2017 වසරේදීය. ඉන්පසු අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා සෝනියා දේශපාලන කරළියෙන් ඈත් වී සිටියාය. බොහෝ දෙනාගේ අදහස වූයේ සෝනියා දේශපාලනයෙන් විශ්‍රාම ගනු ඇති බවය.
ඉන්දීය මහ මැතිරණයට සෝනියාගේ දියණිය මෙන්ම රාහුල් ගාන්ධිගේ සොහොයුරිය ද වන ප්‍රියංකා ද ඉදිරිපත් වීමට නියමිතය. කෙසේ නමුත්, මුල් පෙළ අපේක්ෂකයන්ගේ ලැයිස්තුවට ප්‍රියංකාගේ නම ඇතුළත් වී නැත.
මව සෝනියාගේත්, සොයුරු රාහුල්ගේත් මැතිවරණ කටයුතුවලට සම්බන්ධ වී සිටි ප්‍රියංකා නිලවශයෙන් දේශපාලනයට අවතීර්ණ වූයේ පසුගිය ජනවාරි 23 වැනිදාය. මහ මැතිවරණය ඉලක්ක කරගනිමින්, ප්‍රියංකා උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ කොංග්රස් පක්ෂ මහ ලේකම්වරිය ලෙස පත් කිරීමට ද කොංග්රස් පක්ෂය කටයුතු කර තිබේ. 47 හැවිරිදි ප්‍රියංකා විවාහ වී සිටින්නේ ව්‍යාපාරික රොබට් වද්‍රා සමඟය. ඇය දෙදරු මවකි.
නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)

