සූ කීට මියන්මාර වැසියන්ගේ සහාය



රකීන් පළාතේ රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ට එරෙහිව සිදු කළැයි පැවැසෙන අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණයේ පෙනී සිටීමට මියන්මාරයේ නිල නොවන නායිකා අවුන් සාන් සූ කී සූදානම් වන බවත්, ඒ වෙනුවෙන් මියන්මාර වැසියන්ගේ සහාය ඇයට හිමිවන බවත් පැවැසෙයි.

සූ කී සහ මියන්මාර රජයට සහාය දැක්වීමක් ලෙස නයිපායිඬේව් අගනුවරට දස දහස් ගණනක් මියන්මාර වැසියෝ රැස්ව සිටියේ සහාය දැක්වීමක් වශයෙනි.

සූ කීගේ ඇරැයුමකට අනුව, චීන රජය නියෝජනය කරමින් චීන විදේශ ඇමැතිවරයා ද මේ වනවිට මියන්මාරයට පැමිණ සිටින බව වාර්තා වේ. ඒ, මියන්මාරයට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මියන්මාරයට සහාය දැක්වීමටය.

අවුස් සාන් සූ කී සහ මියන්මාර රජයට එරෙහි චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගය පැවැත්වෙන්නේ ලබන දෙසැම්බර් 10 වැනිදා සිට 12 වැනිදා දක්වාය. ඒ, හේග් නුවර ජාත්‍යන්තර අපරාධ අධිකරණයේදීය.

රකීන් පළාතේ ජීවත් වන මුස්ලිම් වැසියන් ඔවුන්ගේ පළාත වෙනුවෙන් ස්වයං පාලනයක් ඉල්ලයි. ඉස්ලාමීය අන්තවාදී කල්ලි මෙම මුස්ලිම්වරුන්ට සහාය දෙයි.

මියන්මාර හමුදාව මෙම සන්නද්ධ අන්තවාදීන් සමඟ සටන් වැදුණු අවස්ථාවේදී, ලක්ෂ 7 කට වැඩි රොහින්ග්‍යා මුස්ලිම් වැසියන් පිරිසක් පණ බේරා ගනිමින් බංග්ලාදේශයට පලා ගියහ. අද ඔවුහු බංග්ලාදේශ දේශසීමාවේ සරණාගත කඳවුරුවල ජීවත් වෙති.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS