සුළි කුණාටුව ජපානයට කඩාවදී

දැඩි වියලි කාලගුණය අවසන් වීමත් සමඟ, ‘ජොන්ඩාරි’ නමැති ප්රචණ්ඩ සුළි කුණාටුව, පැයට කිලෝ මීටර් 180 ක වේගයකින් ජපානයට කඩා වැදුණේය.
සුළි කුණාටුව කඩා වැදුණේ ජපානයේ හොන්ෂූ දූපතටය. ෂොබාරා සහ කූරේ යන නගරවලට සිදුවුණු හානිය වැඩි යැයි ජපන් පුවත් සේවා පෙන්වා දෙයි.
සුළි කුණාටුව ජපානයට දෙසට ඇදී ආවේ දකුණු කොරියාව ආසන්නයේ සිටය. කොරියානු කාලගුණ විද්‍යාඥයන් සුළි කුණාටුව නම් කර ඇත්තේ, ‘ස්කයිලාක්’ යන නිමිනි.
සුළි කුණාටුව පැමිණෙන බව කල්තියා දැන ගැනීමත් සමඟ අවදානම් ප්‍රදේශවලින් 15,000 ක පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගත් බව වාර්තා විය.
සුළි කුණාටුව සමඟ ජල ගැලීම් සහ නායයයෑම් ද වාර්තා වී ඇත. ජල ගැලීම් හේතුවෙන් උන්හිටිතැන් අහිමි වුණු ගණන ලක්ෂයකට ආසන්න යැයි ද පැවැසෙයි.
ගස් කඩා වැටීමෙන් මාර්ග රැසක් අවහිර විය. ගමනාගමන කටයුතුවලට බාධා එල්ල විය. ගුවන් ගමන් ද අවලංගු කෙරුණු බව වාර්තා වේ. ගසා කඩා වැටීමෙන් විදුලිබල සැපැයුම්වලට බාධා එල්ල වී තිබේ. ජපාන පුවත් සේවා වාර්තා කළේ නිවාස 1,50,000 කට වැඩි සංඛ්‍යාවකට විදුලි බලය අහිමි වී ඇති බවය. පුද්ගලයෝ 16 දෙනෙක් තුවාල ලැබූහ.
මීට සති දෙකකට පෙර, දැඩි වියලි කාලගුණයකින් ජපන් වැසියෝ පීඩාවට පත් වූහ. දැඩි උණුසුම හේතුවෙන් 200 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ.
(ඒ.එෆ්.පී.)

