සුෂ්මා ස්වරාජ් සමුගනී

භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායිකාවක මෙන්ම හිටපු විදේශ ඇමැතිනියක ද වූ සුෂ්මා ස්වරාජ් අභාවප්‍රාප්ත වූවාය. ඇගේ වයස අවුරුදු 67 කි.
නරේන්ද්‍ර මෝදි 2014 පළමු වරට ඉන්දියාවේ අගමැති ධුරයට පත්වී පිහිටුවූ රජයේ විදෙස් ඇමැතිනිය වූයේ ස්වරාජ් ය. ඇය වසර පහක් විදෙස් ඇමැති ධුරය හෙබවූවාය. කීර්තිමත් මෙන්ම ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු ලෙස ස්වරාජ් ඉන්දියානුවන්ගේ ගෞරවයට පාත්‍ර වී සිටියාය.
විපතට පත්ව අසාධාරණයට ලක් වී විදේශවල කොටුවුණු ඉන්දියානුවන් වෙනුවෙන් මැදිහත් වී පෞද්ගලිකව ඔවුන්ගේ සුවදුක් විමසා බැලීමටත් ඔවුන්ට පිහිට වීමටත් පියවර ගත් විදේශ ඇමැතිනියක ලෙස සුෂ්මා ස්වරාජ් ඉන්දියානුවන්ගේ ආදරය දිනා ගත් තැනැත්තියකි. භාරතීය ජනතා පක්ෂය නිකුත් කළ නිවේදනවල සඳහන් වන්නේ සුෂ්මා ස්වර්ජ්ගේ වියෝව භාරතීය ජනතා පක්ෂයටත්, ඉන්දීය දේශපාලනයටත් සිදුවුණු විශාල පාඩුවක් බවය.
අගමැති මෝදිගේ ට්විටර් පණිවුඩයේ සඳහන් වී ඇත්තේ, ඉන්දීය දේශපාලනයේ විශිෂ්ටතම යුගයක අවසානය සනිටුහන් වූ බවය.
ලොව පුරා සිටින ඉන්දියානුවන් සමාජ ජාල ඔස්සේ සුෂ්මා ස්වර්ජ්ගේ අභාවය සම්බන්ධයෙන් සොව පළ කර ඇතැයි ද ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි. මීට අමතරව විදෙස් රාජ්‍ය නායකයන් ද සුෂ්මා ස්වරාජ් වෙනුවෙන් සොව පළ කර ඇත. ඉන්දීය රජය පවසා ඇත්තේ සුෂ්මා ස්වරාජ්ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිත බවය.
2016 දී සුෂ්මා ස්වරාජ් වකුගඩු රෝගියකු වූ බව ප්‍රසිද්ධියට පත් විය. ඇයට වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය වූ අවස්ථාවේදී දෙස් විදෙස් ඉන්දියානුවෝ මුදල් ප්‍රතික්ෂේප කරමින් ඇයට වකගඩු පිරිනැමීමට පවා ඉදිරිපත් වූහ. අවසානයේ සුෂ්මා ස්වර්ජ්ට සිදු කළ වකුගඩු බද්ධය සාර්ථක වූ බවද පැවැසිණි.
පසුගිය ජනවාරියේ යළිත් විශිෂ්ට ජයක් හිමිකර ගනිමින් මෝදි ප්රමුඛ භාරතීය ජනතා පක්ෂය බලයට පත් වූ අවස්ථාවේදී, සුෂ්මා කියා සිටියේ තමන් කිසිදු අමාත්‍ය ධුරයක් බාර නොගන්නා බවය. ඒ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙනි. ඉන්දීය මාධ්‍ය වාර්තා කළ අන්දමට ස්වරාජ් හදිසි හෘදයාබාධයකින් මියගොස් ඇත.
නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)

