සිරවුණු 955 දෙනා බේරා ගැනෙති



දකුණු අප්‍රිකාවේ රන් පතලක හදිසියේ සිදුවුණු විදුලිය බිඳ වැටීමක් හේතුවෙන් පතල් සේවකයන් 955 දෙනකු ඉකුත් 31 වැනිදා රාත්‍රියේ ඒ තුළ සිරවූහ. මහත් පරිශ්‍රමයක් දරා එම පිරිස බේරා ගැනීමට දිවි ගලවා ගැනීමේ නිලධාරීහු අද (2) සමත් වූහ.

සේවක පිරිස පතල තුළ සිරවූයේ ඊට ලැබෙන විදුලිය විසන්ධිවීමෙනි. විදුලිය විසන්ධි වූයේ හමා ගිය ප්‍රචණ්ඩ සුළි කුණාටුවක් හේතුවෙනි. දීර්ඝ මෙන්ම වෙහෙසකර මෙහයුමකින් පසු, සෝපාන යළි පණ ගන්වා පතල පතුළේ සිටි පිරිස එකිනෙකා නිරුපද්‍රිතව මතුපිටට ගෙන ඒමට සහන නිලධාරීහු කටයුතු කළ බව පැවැසෙයි.
අකරතැබ්බට මුහුණ දුන්නෝ දකුණු අප්‍රිකාවේ වෙල්කොම් නගරයේ පිහිටි ‘සිමේන් ස්ටිල්වෝටර්’ සමාගමට අයත් ‘බියෙටි්‍රක්ස්’ රත්තරන් කැණීමේ පතලේ සේවකයෝය.

වෙල්කොම් නගරය පිහිටා ඇත්තේ ජොහැන්ස්බර්ග් නුවරට බටහිරිනි. දකුණු අප්‍රිකාව පතල් කර්මාන්තයට ප්‍රකටය. ‘බියෙටි්‍රක්ස්’ පතලේ හිමිකරු ‘සිමේන් ස්ටිල්වෝටර්’ සමාගම ප්‍රකට කැණීම් සමාගමකි.

මෙම පතල අඩි 3,280 ක් (මීටර් 1,0000 ක්) ගැඹුරු වන අතර පොළොව අභ්‍යන්තරයේ මහල් 23 කින් සමන්විත යැයි පැවැසෙයි. විදුලි බලය විසන්ධිවීමත් සමඟ පතලේ සෝපාන පමණක් නොව, කම්කරුවන්ට ඔක්සිජන් සැපැයීම පවා අඩාල විය. දිවි ගලවා ගැනීමේ සේවකයන් වහා ක්‍රියාත්මක වී, විදුලි ජනක භාවිතයෙන් පළමුවෙන් ඔක්සිජන් සැපැයුම යළි යථා තත්ත්වයට පත් කළහ.

සිරවුණු පිරිස සෙමින් සෙමින් බේරා ගැනීම සිදු කෙරුණේ ඉන් පසුවය. සේවකයන් පිටතට පැමිණෙද්දී, ගිලන් රථ කිහිපයක් ද සීරුවෙන් තැබුණි. කෙසේ නමුත් කිසිවකුටවත් කිසිදු අනතුරක් සිදුවී නොතිබුණි. කිහිප දෙනෙක් බියෙන් කම්පනයට පත්ව සිටියේ යැයි ද පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS