සියේරා ලියොන් පිපිරීමෙන් මියගිය ගණන 99 ක්

අප්‍රිකාවට අයත් සියේරා ලියෝන් රාජ්‍යයේ 'ෆ්‍රීටවුන්' අගනුවර ඉන්ධන පිරවුම් හලේ සිදුවුණු ප්‍රබල පිපිරීමෙන් මියගිය ගණන 99 තෙක් ඉහළ ගොස් ඇති බවත් 88 දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් එරට උප ජනාධිපති මොහොමද් ජුල්ඩේ ජල්ලෝ පවසයි.
තුවාල ලබා රෝහල් ගත කෙරුණේ දරුණු ලෙස පිළිස්සීමට ලක්වූවන්ය. ඔවුන්ගෙන් බොහෝ දෙනකුගේ තත්ත්වය බරපතල බවත් මරණ ගණන තවත් ඉහළ යා හැකි බවත් වෛද්‍යවරු පවසති.
ඉන්ධන පිරවුම්හල අසල මෝටර් රථයක් ගිනි ගත් අතර එම ගින්න වේගයෙන් ඉන්ධන පිරවුම්හලට පැතිර ගොස් ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන ටැංකිවලට ගිනි ඇවිලීමෙන් පිපිරීම සිදුවිය.
මාර්ගයේ ගමන් කළ යතුරු පැදි, මෝටර් රථ සහ පදිකයන් පිපිරුමෙන් දසත විහිදුණු ගිනි ජාලාවට ගොදුරු වූ බව පැවැසෙයි. මෝටර් රථ තුළ පිළිස්සී සිරවුණු පිරිස් මුදා ගැනීමට මහත් පරිශ්‍රයක් දැරීමට වෛද්‍ය ආධාරකරුවන් සහ පොලිසියට සිදුවිය.
පිපිරීම ගැන වාර්තා වූ සැණින් උප ජනාධිපති මොහොමද් ජුල්ඩේ ජල්ලෝ සහ විශේෂ විමර්ශන කණ්ඩායමක් ඉන්ධන පිරවුම්හල පිහිටි ස්ථානයට ගිය බව ද සියේරා ලියොන් මාධ්‍ය වාර්තා කර තිබේ. පිපිරුමෙන් ඉන්ධන පිරවුම්හල වටා නිවාස සහ ගොඩනැගිලි ද විනාශ වී ඇති බව පැවැසෙයි.
(ඒ.ඒෆ්.පී.)

