සැප නැවක මාරක වයිරසයක් පැතිරිලා



අත්ලාන්තික් සාගරයේ යාත්‍රා කරන එම්.වී. හොන්ඩියස් නමැති සුඛෝපභෝගී සංචාරක නෞකාවේ වයිරසයක් පැතිර යන බවත්, රෝගී වූ තිදෙනකු මියගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වයිරස ව්‍යාප්තිය ගැන තොරතුරු අනාවරණය වූයේ එම්.වී. හොන්ඩියස් නෞකාව සංචාරකයන් ද සමග ආර්ජන්ටිනාවේ සිට කේප් වර්ඩ් දූපත් බලා යාත්‍රා කරද්දීය. 

නෞකාවේ ව්‍යාප්ත වෙමින් ඇත්තේ හැන්ටා වයිරසයයි. මේ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා තහවුරු කර ඇත. මියගිය පුද්ගලයන් තිදෙනාට අමතරව, මේ වනවිට නෞකාවේ එක් තහවුරු කරගත් ආසාදිතයකු සහ වයිරසය ආසාදනය වී ඇතැයි සැක කරන පස් දෙනකු සිටින බව ද මාධ්‍ය වාර්තා කර ඇත.

දකුණු අප්‍රිකානු සෞඛ්‍ය බලධාරීන්ට අනුව මියගිය තිදෙනාගෙන් දෙදෙනකු 70 හැවිරිදි සහ 69 හැවිරිදි ඕලන්ද ජාතික යුවළකි. 
සංචාරය අතරතුරේ තද උණ, හිසරදය සහ උදරයේ වේදනාව වැනි රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් 70 හැවිරිදි සැමියා කඩිනමින් බ්‍රිතාන්‍යයට අයත් ශාන්ත හෙලේනා දූපතට රැගෙන ගිය බවත්, ඒ වනවිටත් ඔවුන් මියගොස් සිටි බවත් වාර්තා වේ.

69 හැවිරිදි බිරිඳ දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. තෙවැනි මරණය සිදුවී ඇත්තේ නෞකාවේදීය.

ඊට අමතරව, වයිරසය ආසාදනය වී අසාධ්‍ය තත්ත්වයේ පසුවන තවත් 69 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයකු ජොහැන්නස්බර්ග් නුවර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

හැන්ටා වයිරසය යනු මීයන් වැනි සතුන්ගේ මුත්‍ර හෝ මළපහ මගින් මිනිසුන්ට බෝවන වයිරසයකි. ශ්වසන අපහසුතා පවා ඇති කරන වයිරසයකි. කෙසේ නමුත් වෛද්‍ය මතය අනුව, මෙය පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට බෝවීම ඉතා කලාතුරකිනි.

ඉකුත් මාර්තු 20 වනදා ආර්ජන්ටිනාවේ උෂුවායා වරායෙන් ගමන් ආරම්භ කළ සංචාරක නෞකාවේ සංචාරකයන් 150ක් ඇතුළුව 240කට අධික පිරිසක් සිටින බව වාර්තා වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය නෞකාව නිරෝධායනයට ලක් කර ඇත. නෞකාව ඉදිරි දින කීපය ඇතුළත ස්පාඤ්ඤයේ කැනරි දූපත් වෙත යාත්‍රා කිරීමට නියමිතව තිබුණු බව ද පැවැසෙයි.

 


RECOMMEND POSTS