සැක හැමෝම පරීක්ෂා කරන්න



‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය අසාදනය වී ඇතැයි සැක කරන සියලු දෙනා පරීක්ෂා කර බලන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පැවැසීය.

මේ වනවිට නව කොරෝනා වයිරසය පැතිර ගොස් ඇති රටවල් සහ පාලන ප්‍රදේශ ගණන 162 ඉක්මවා ඇත. චීනයේ වයිරස ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව අඩුවෙද්දී යුරෝපය වයිරසයේ අපිකේන්ද්‍රය බවට පත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

වයිරසය සම්බන්ධයෙන් ජිනීවා නුවර පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධානය දිනපතා මාධ්‍ය හමුවක් පවත්වයි. සැකකටයුතු සියලු දෙනා වයිරස පරීක්ෂණයට යොමු කරන්නැයි ඊයේ පැවැති මාධ්‍ය හමුවේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙද්‍රෝස් ඇඞ්හැනොන් සෑම රටකටම පැවැසුවේය.

‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණන 182,424 දක්වා ඉහළ ගියේය. වයිරස ආසාදිත මරණ ගණන 7,155 ක් ලෙස සටහන් විය. චීනයෙන් පිට වයිරසය වේගයෙන් පැතිර යන්නේ ඉතාලිය, ස්පාඤ්ඤය සහ ඉරානයේය. ඉතාලිය සහ ස්පාඤ්ඤය යුරෝපා රටවල් වන අතර ඉරානය මැදපෙරදිග රටකි.

ඉතාලියෙන් හමුවුණු කොරෝනා ආසාදිතයන් ගණන 27,900 කි. කොරෝනා ආසාදිත මරණ ගණන 2,158 කි. ස්පාඤ්ඤයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන 9,942 කි. ස්පාඤ්ඤයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 342 කි.

ජිනීවාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS