ස්වාසිලන්ත අගමැති කොරෝනාවලින් මියයයි



ස්වාසිලන්තයේ අග්‍රාමාත්‍ය ඇම්බ්‍රොස් ද්ලමීනී ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් මියගිය බව එරට රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

52 හැවිරිදි අග්‍රාමාත්‍යවරයා ‘කොවිඩ් 19’ ආසාදිතයකු බව තහවුරු වී ඇත්තේ මීට සති 3 කට පමණ පෙරය. ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා දකුණු අප්‍රිකාවේ රෝහලකට ඇතුළත් කළ බවත්, එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිද්දී, අග්‍රාමාත්‍යවරයා මියගිය බවත් රජය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

ඇම්බ්‍රොස් ද්ලමීනී කොරෝනා ආසාදය වූ බව තහවුරු වුවත්, ඔහුගෙන් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකළ බව වෛද්‍යවරු කියති. නිල නිවසේ නිරෝධායනය වෙමින්, ද්ලමීනී සිය රාජකාරි කළ බව ද පැවැසිණි.

කෙසේ නමුත් දින කීපයක් ගතවෙද්දී, ද්ලමීනී හිටිහැටියේ රෝගී වී, එම රෝගී තත්ත්වය උත්සන්න වූ බව ඔහු රැක බලා ගනිමින් සිටි වෛද්‍ය කණ්ඩායම පවසා තිබේ.

අග්‍රාමාත්‍යවරයා වහාම දකුණු අප්‍රිකාවේ රෝහලක් වෙත රැගෙන යෑම සිදුවී ඇත්තේ ඉන්පසුව බව ද පැවැසෙයි. ද්ලමීනී අග්‍රාමාත්‍ය ධුරයට පත් වූයේ 2018 වසරේදීය.

අතීතයේ ස්වාසිලන්තය යන නමින් හැඳින්වුවත් අද මෙම රට හැඳින්වෙන්නේ ඊස්වාතීනි රාජධානිය යන නමිනි. ඊස්වාතීනි අප්‍රිකාවට අයත් කුඩා රාජ්‍යයකි.

ඊස්වාතීනි රාජ්‍යයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන 6,700 ක් වන අතර, මරණ වාර්තා වන්නේ 127 ක් ලෙසිණි. ඊස්වාතීනි රාජ්‍යයේ ජනගහනය මිලියන 1.2 කි.

(රොයිටර්)


RECOMMEND POSTS