සබ්මැරීනය ගැන කැමරන් අදහස් කියයි



‘ටයිටන්’ සබ්මැරීනයට සිදුවුණු අකරතැබ්බ සම්බන්ධයෙන් ප්‍රවීණ හොලිවුඞ් අධ්‍යක්ෂ ජේම්ස් කැමරන්, සිය හඬ අවදි කළේ දිනයේය. ඒ, සබ්මැරීනයේ සිටි පිරිස මියගිය බව තහවුරු වීමෙන් අනතුරුවය. 1997 වසරේ තිරගත වූ, බොක්ස් ඔෆිස් වාර්තා තැබූ ‘ටයිටැනික්’ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ජේම්ස් කැමරන්ය.

‘ටයිටන්’ සබ්මැරීනයේ ප්‍රමිතිය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂඥයන් අනතුරු අඟවා තිබියදී, සංචාරකයන් රැගෙන යෑමට එය භාවිතයට ගැනීම මෝඩ ක්‍රියාවක් යැයි කැමරන් පෙන්වා දෙයි.

ජේම්ස් කැමරන් ද දක්ෂ කිමිඳුම්කරුවෙකි. ඔහු 33 වරක්, ‘ටයිටැනික්’ නැවේ සුන්බුන් ඇති ස්ථානයට ගොස් සුන්බුන් ගවේෂණය කළ සඑ රූගත කළ අයෙකි. 1997 වසරේ තිරගත වුණු ටයිටැනික් චිත්‍රපටය නිර්මාණයේ දී භාවිතයට ගැණුනේ රූගත කළ එම දසුන්ය.

“1912 වසරේ ටයිටැනික් නැව අවාසනාවන්ත අයුරින් මුහුදේ ගිලී ගියේ නැව ගිල්වන්න බැරි යැයි අවතක්සේරු කළ නිසයි. බොහෝ දෙනා ටයිටැනික් ගැන අනතුරු ඇගෙව්වා. ඒත් කවුරුවත් ගණන් ගත්තේ නැහැ. ටයිටන් සබ්මැරීනයටත් සිදුවුණේ එවැන්නක්. සබ්මැරීනයේ ප්‍රමිතිය ගැන කළ අනතුරු ඇගවීම් ගණන් ගත්තේ නැහැ” යැයි කැමරන් පැහැදිලි කර තිබේ.

ඊයේ (22) ‘ටයිටන්’ සබ්මැරීනයේ සිට මියගිය පස් දෙනා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සොව පළ කෙරුණි. ‘ටයිටන්’ සබ්මැරීනය අයත්, ‘ඕෂන්ගේට් එක්පෙඩිෂන්ස්’ සමාගම ‘ටයිටැනික්’ නැවේ සුන්බුන් නැරැඹීමට සංචාරකයන් රැගෙන යන්නේ එක් සංචාරකයකුගෙන් ඇමෙරිකන් ඩොලර් 250,000 ක මුදලක් අය කරමිණි.

‘ඕෂන්ගේට් එක්පෙඩිෂන්ස්’ සමාගමේ ‘ටයිටන්’ නමැති කුඩා සබ්මැරීනය අතුරුදන් වූයේ, එය මුහුදු පතුළට යද්දී, මුහුදු පතුළේ පීඩනයට හසුවී, පොඩි පට්ටම් වී, පුපුරා ගිය නිසා යැයි ඇමෙරිකන් නාවික හමුදාව කියයි. මේ බව ‘ටයිටන්’ සබ්මැරීනය සොයා මෙහෙයුම් සිදු කළ ඇමෙරිකන් වෙරළාරක්ෂක නිලධාරීන් ද තහවුරු කර තිබේ.

පස් දෙනකු සමඟ ‘ටයිටන්’ සබ්මැරීනය, ටයිටැනික් නැවේ සුන්බුන් ඇති ස්ථානය බලා මුහුදු පතුළට කිමිඳීම ආරම්භ කළේ පසුගිය 18 වැනිදා රාත්‍රියේය. ‘ටයිටැනික්’ නැවේ සුන්බුන් ඇත්තේ මීටර් 3,800 ක් මුහුදු පතුළේය. ‘ටයිටන්’ සබ්මැරීනයට මුහුදු මතුපිට සිට එම සුන්බුන් ඇති ස්ථානයට ගත වන කාලය පැය 2 1/2 කි. ‘ටයිටන්’ සබ්මැරීනය අතුරුදන් වූයේ, කිමිඳීම අරඹා පැය 1 යි මිනිත්තු 30 ක් පමණ යද්දීය.
සබ්මැරීනය අතුරුදන් වූ වේලාවේ, ඒ අවට අත්ලාන්කින් මුහුදු කලාපයේ රැඳී සිටි ඇමෙරිකන් නාවික හමුදා යත්‍රාවලට සෝනාර් තාක්ෂණය ඔස්සේ කිසියම් පිපිරීමක හඬක් ඇසී තිබේ. ඇමෙරිකන් නාවික හමුදාව සහ ඇමෙරිකන් වෙරළාරක්ෂකයන් අවධාරණය කර ඇත්තේ පසුගිය 19 වැනිදා ඔවුන්ට අසන්න ලැබුණු එම හඬ සබ්මැරීනය පුපුරා යෑම බවය.

පිපිරී යද්දී ‘ටයිටන්’ සබ්මැරීනයේ ‘ඕෂන්ගේට් එක්පෙඩිෂන්ස්’ සමාගමේ ප්‍රධානී 61 හැවිරිදි ස්ටොක්ටන් රෂ් ද විය. යානයේ නියමුවා ලෙස කටයුතු කළේ නාර්ජොලේය. 77 හැවිරිදි මොහු ප්‍රංශ නාවික හමුදා විශ්‍රාමික නිලධාරියෙකි. මොහු අවස්ථා ගණණාවකදී ටයිටැනික් නැවේ සුන්බුන් ගවේෂණයට ගිය අයෙකි. සංචාරකයන් ලෙස ගමනට එක් වී සිටියේ බි්‍රතාන්‍ය බිලියනපති 58 හැවිරිදි හමීෂ් හාර්ඩිං ය. ඊට අමතරව, බි්‍රතාන්‍ය පාකිස්තාන ජාතික කෝටිපති ව්‍යාපාරික 48 හැවිරිදි සුලෙයිමාන් දාවුද් සහ ඔහුගේ 19 හැවිරිදි පුතු සුලෙයිමාන් ද සබ්මැරීනයේ සිටියහ.

ඊයේ (22) සවස සබ්මැරීනය සොයා සෝදිසි මෙහෙයුම්වල නියැලී සිටි ප්‍රංශ කිමිඳුම් යානාවකට, අඩි 1,600 ක් මුහුදු පතුලේ, ටයිටැනික් නැවේ සුන්බුන්වල සිට මීටර් 400 ක් ඈතින්, ‘ටයිටන්’ සබ්මැරීනයේ පහළ කොටස් සහ වල්ගයේ කොටස් හමුවුණු බව පැවැසෙයි. ඒ අනුව සබ්මැරීනය පුපුරා විනාශ වූ බව තහවුරු වී තිබේ.


RECOMMEND POSTS