සඳෙන් පස් අරන් චීන යානය ආපසු එයි

‘කොවිඩ් 19’ වයිරස වසංගතය හමුවේ තම බලපුළුවන්කාරකම් ලොවට පෙන්වමින්, චීනය සඳට යැවූ රොබෝ යානය, සඳෙන් ලබා ගත් පස් සාම්පල සමඟ ආපසු පෘථිවිය බලා ගමන් ආරම්භ කර තිබේ.
පෘථිවි යානයක් සඳෙන් පස් සාම්පල ලබා ගැනීම මෙසේ සිදුවූයේ දශක 4 කට පසුව යැයි පැවැසෙයි. මීට පෙර මෙවැනි වික්‍රම කළේ සෝවියට් රුසියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදයයි.
චීන අභ්‍යවකාශ ආයතනය සඳට යැවූ මෙම යානය හැඳින්වෙන්නේ ‘චැංග්ඊ5’ යනුවෙනි. චීනයේ පැරණි මිත්‍යා කථා අනුව ‘චැංග්ඊ’ යනු සඳට අධිපති දෙවඟනය.
‘චැංග්ඊ5’ යානය කොටස් කීපයකි. ප්‍රධාන යානය මවු යානයක් සේ ක්‍රියා කරන අතර එය සඳට ගොස් සඳුගේ කක්ෂයේ රැඳී සිටියේය. සඳට ගොඩබාමින් පස් සාම්පල ලබා ගත්තේ තවත් කුඩා රොබෝ යානයකි.
එම රොබෝ යානය පස් සාම්පල සමඟ මවු යානය සමඟ එක් වුණු අතර, මවු යානය පෘථිවිය බලා ගමන් ආරම්භ කළේය. යානය පෘථිවියට පැමිණීමට දින 3 ක් ගත වනු ඇතැයි පැවැසෙයි. අවසන් වරට මේ අයුරින් සඳෙන් පස් ගෙනාවේ සෝවියට් රුසියානුවන්ගේ ‘ලූනා 24’ යානයයි. ඒ, 1976 දීය.
බීජීං අගනුවරදීය (ඒ.එෆ්.පී.)

