වෙනිසියුලා අර්බුදය විසඳනවා



ඇමෙරිකා එක්සත් ජනපදය, වෙනිසියුලාවේ හටගෙන ඇති දේශපාලන අර්බුදයට ඇඟිලි ගැසීමෙන් වැළකී සිටින්නේ නම්, එම සාකච්ඡා මාර්ගයෙන් එම අර්බුදයට පැහැදිලි විසඳුමක් සෙවීමට තමන්ට හැකි බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් කියයි.

වෙනිසියුලාවේ හටගෙන ඇති අර්බුදයේ දී, ඇමෙරිකාවේ සහාය ලැබෙන්නේ විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලටය. එම දේශපාලන කණ්ඩායම්, විපක්ෂ නායක යුවාන් ගුඅයිඩෝ වෙනිසියුලාවේ ‘අන්තර්වාර ජනාධිපති’ ලෙස නම් කර ඇති අතර, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඒ බව අනුමත කර තිබේ.

ඇමෙරිකාව පමණක් නොව, මහා බි්‍රතාන්‍යය ඇතුළු යුරෝපා රටවල් බොහොමයක් ද වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස විපක්ෂ නායක ගුඅයිඩෝ පිළිගන්නා බව පවසා ඇත.

රුසියාව, තුර්කිය සහ චීනය වැනි රටවල් සහාය දක්වන්නේ වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝටය. පසුගිය වසර අවසානයේ, වෙනිසියුලාවේ ජනාධිපතිවරණයක් පැවැත්විණි. මදුරෝ යළිත් වරක් එයින් විශිෂ්ට ජයක් අත්පත් කර ගත්තේය.

වෙනිසියුලාවේ නීත්‍යාණුකූල ජනාධිපතිවරයා මදුරෝ බව පෙන්වා දෙමින්, වෙනිසියුලාවේ අභ්‍යන්තර දේශපාලනික කටයුතුවලට ඇඟිලි ගැසීමෙන් වළකින්නැයි රුසියාව දිගින් දිගටම ඇමෙරිකාවට දන්වා ඇත.

වෙනිසියුලා ජනාධිපති මදුරෝ සහ විපක්ෂ නායක ගුඅයිඩෝ අතරේ සාකච්ඡා පැවැත්වීමට මැදහත්කරුවකු ලෙස රුසියාවට කටයුතු කළ හැකි බවත්, වෙනිසියුලා ජනතාවගේ යහපතට මුල්තැන දී, වෙනිසියුලා අර්බුදය සාමකාමීව විසඳා ගැනීමට සහාය දැක්වීම රුසියාවට කළ හැකි බවත් ජනාධිපති ව්ලැදිමීර් පුටින් වැඩි දුරටත් පවසා ඇත.

මොස්කව්හිදීය (ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS