විපක්ෂ බලවේග පරාජය කරනවා



බටහිර රටවල් සමඟ එක්වී, තමා බලයෙන් නෙරපා දැමීමට කුමන්ත්‍රණය කරන විපක්ෂ බලවේග පරාජය කරන බවට වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ ප්‍රතිඥා දුන්නේය.

ඒ අනුව වෙනිසියුලාවේ හටගෙන ඇති දේශපාලන අර්බුදය තවත් උත්සන්න වනු ඇති බව එරට දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. තමාට එරෙහිව විරෝධතා පවත්වන්නේත්, තමා බලයෙන් නෙරපා දැමීමට උත්සාහ ගන්නේත් සුළුතරයක් බවත්, රටේ බහුතරය තමා සමඟ සිටින බවත් ජනපති මදුරෝ වැඩිදුරටත් අවධාරණය කළේය.

වෙනිසියුලා විපක්ෂ දේශපාලන කණ්ඩායම් රටේ අන්තර්වාර ජනාධිපති ලෙස නම් කරනු ලැබ සිටින්නේ විපක්ෂ නායක යුවාන් ගුඅයිඩෝය. ඇමෙරිකාව ඇතුළු යුරෝපා රටවල් පමණක් නොව, වෙනිසියුලාව අයත් ලතින් ඇමෙරිකා රටවල් බොහොමයක් ද වෙනිසියුලාවේ අන්තර්වාර නායකයා ලෙස පිළිගන්නේ යුවාන් ගුඅයිඩෝය.

විපක්ෂ නායක ගුඅයිඩෝ පසුගිය දා අසල්වැසි ලතින් ඇමෙරිකා රටවල සංචාරය කළේය. ඒ, ඔහුට අවශ්‍ය සහාය ලබා ගැනීමටය. පසුගිය දා ගුඅයිඩෝ යළි වෙනිසියුලාවට පැමිණි අතර, ඔහු වෙනිසියුලා වැසියන්ගෙන් ඉල්ලා ඇත්තේ වෙනිසියුලා ජනාධිපති මදුරෝට එරෙහිව දිගින් දිගටම වීදි බැස විරෝධතා පවත්වන ලෙසය.

මේ අතර ඇමෙරිකාව පවසා ඇත්තේ වෙනිසියුලා ජනාධිපති මදුරෝට බලයෙන් ඉවත් වන්නැයි බල කරමින් වෙනිසියුලාවට එරෙහිව තවත් සම්බාධක පැනැවීමක් සිදු කරන බවය. බටහිර රටවල් වෙනිසියුලා විපක්ෂය සමඟ එක් වී සිටියත්, තුර්කිය, රුසියාව සහ චීනය පවසා ඇත්තේ තමන් සහාය දක්වන්නේ වෙනිසියුලාවේ නීත්‍යාණුකූල ජනාධිපති නිකලස් මදුරෝට බවය.

කැරැකස්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS