විදුලිය නැතිව වෙනිසියුලාව අඳුරේ

දින පහකට ආසන්න කාලයක් තිස්සේ වෙනිසියුලා වැසියන් විදුලි බලය නොමැතිව පීඩාවට පත්ව සිටින බවත්, ජනාධිපති නිකලස් මදුරෝට එරෙහිව විපක්ෂ දේශපාලන කණ්ඩායම් සංවිධානය කරන විරෝධතා උත්සන්න වී ඇති බවත් වාර්තා වේ.
තෙල් සම්පත්වලින් බහුල වුවත්, එම සම්පත් නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන වෙනිසියුලාව සමත් වී නැත. වෙනිසියුලාව උග්‍ර බලශක්ති අර්බුදයකට මුහුණ දුන්නේ මීට වසර දෙකකට පමණ පෙර සිටය. දරිද්‍රතාව ද ඉහවහා ගොස් ඇත. ආහාර සහ ඖෂධ නොමැති වීමෙන් ද වෙනිසියුලානුවෝ පීඩාවට පත් වී සිටිති.
වෙනිසියුලාව මුහුණ දුන් බලශක්ති අර්බුදය උත්සන්න වී ඇත්තේ, මදුරෝගේ සමාජවාදී පක්ෂයේ දූෂණ වංචා හේතුවෙන් යැයි විපක්ෂ දේශපාලන කණ්ඩායම් චෝදනා කරයි.
අද (10) කැරැකස් අගනුවර කොටසකට පමණක් පැය කීපයකට විදුලි බලය ලැබුණු බව ද පැවැසෙයි. විදුලි බලය නොමැතිවීම හේතුවෙන් දෛනික කටයුතු අඩපණ වී ඇති බවත්, පාසල් සහ කාර්යාල වසා දැමීමට සිදුවී ඇති බවත් වාර්තා වේ.
රෝහල්වල කටයුතු ද අඩපණ වී ඇත බවත්, විසුලි බලය නොමැති වීමෙන් රෝගීන් 13 දෙනකු මියගොස් ඇති බව ද පැවැසෙයි. විදුලිය විසන්ධි වීමත්, පුවෙට්රෝ ඕඬේස් නගරයේ උෂ්ණත්වය ද ඉහළ යෑමත් හේතුවෙන් නගර වැසියන් මහත් සේ පීඩාවට පත්වුණු බව ද පැවැසෙයි.
කැරැකස්හිදීය (රොයිටර්ස්)

