විකෘති ප්‍රභේදයක් එංගලන්තයේ

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ විකෘතිකරණයට ලක්වුණු නව ප්‍රභේදයක් එංගලන්තය පුරා පැතිර යමින් පවතින බවත්, එම නව ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයන් 35,928 දෙනකු මේ වනවිට හඳුනාගෙන ඇති බවත් පැවැසෙයි.
මහා බ්‍රිතාන්‍යය එසේත් නැතිනම් එක්සත් රාජධානිය ලෙස සැලකෙන්නේ එංගලන්තය, වේල්සය, ස්කොට්ලන්තය සහ උතුරු අයර්ලන්තයයි.
නිරිතදිග එංගලන්තයෙන් පළමු වරට මෙම විකෘති වූ වයිරස ප්‍රභේදය හමුවී ඇති අතර, මේ වනවිට වේල්සය, ස්කොට්ලන්තය සහ උතුරු අයර්ලන්තයෙන් ද රෝගීන් හමුවී ඇති බව බ්‍රිතාන්‍ය රජය විසින් පත් කරනු ලැබ ඇති ‘කොවිඩ් 19’ ව්‍යාප්තිය වැළැක්වීමේ විද්වත් කමිටුව පවසා තිබේ.
මෙම නව වයිරස ප්‍රභේදය එංගලන්ත වැසියන් අතරේ පැතිරීම ආරම්භ වී ඇත්තේ පසුගිය සැප්තැම්බරයේ යැයි ද මේ වනවිට අනාවරණය වී ඇත.
ඒ අනුව, ප්‍රංශය, චෙක් ජනරජය, එස්තෝනියාව, ලැට්වියාව, බෙල්ජියම, පෘතුගාලය, ඩෙන්මාර්කය, දකුණු අප්‍රිකාව, ඊශ්‍රායලය, නෙදර්ලන්තය, ඉතාලිය, ජර්මනිය, චිලී රාජ්‍යය, කොලොම්බියාව, ආජන්ටිනාව සහ කැනඩාව මහා බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන සියලු ගුවන් මගීන් ට දැඩි නිරෝධායන තහංචි පනව ඇති බව ද වාර්තා වේ.
මේ වනවිට මහා බ්‍රිතාන්‍යයේ වැසියන්ට, ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වීම වැළැක්වීමට ‘ෆයිසර්’ එන්නත ලබාදීම සිදුකෙරේ. ‘ෆයිසර්’ එන්නත නිපදවා ඇත්තේ ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සමාගම සහ ජර්මනියේ ‘බයෝඇන්ටෙක්’ සමාගම එක් වෙමිනි. ‘කොවිඩ් 19’ වයිරසයේ මෙම නව ප්‍රභේදය, ආසාදනය වීම වැළැක්වීමට ‘ෆයිසර්’ එන්නතට හැකියාව තිබේදැයි යන්න සම්බන්ධයෙන් මේ වනවිට සැකයක් මතු වී තිබේ.
බැක්ටීරියා සම්බන්ධයෙන් නොව, වයිරස රෝග සම්බන්ධයෙන් එන්නත් නිපදවීම අසීරු වී ඇත්තේ, බැක්ටීරියා මෙන් නොව, වයිරස සැමවිටම විකෘතිවීමය. වයිරසවල ස්වභාවය වන්නේ එය යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කර තිබේ. මේ අතර, මහා බ්‍රිතාන්‍යයේ පැතිරෙන මෙම නව ප්‍රභේදය සම්බන්ධයෙන් තමන් විමසිල්ලෙන් පසුවන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පවසා තිබේ.
මේ වනවිට මහා බ්‍රිතාන්‍යයේ ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 2,040,147 ක් බවත් ‘කොවිඩ් 19’ මරණ 67,401 දක්වා ඉහළ ගොස් ඇති බවත් පැවැසෙයි.
ලන්ඩනයේදීය (ඒ.එෆ්.පී.)

