වසර 45,000 ක් පැරණි අපේ ආදිමානවයාගේ දුනු හී

අප්‍රිකාවෙන් පිටත ආදි මානවයාගේ දුනු හී භාවිතය පිළිබඳ පැරණිම සාධක ශ්‍රී ලංකාවෙන් සොයා ගැනීමට ලෝක විද්‍යාඥයන් පිරිසක් සමත් වී තිබේ. ඒ වසර 45,000 කට පෙර මෙරට විසූ ආදි මානවයා විසින් භාවිත කළේ යැයි විශ්වාස කළ හැකි දුනු හී තුඩුවලට යොදා ගෙන තිබූ අස්ථි කැබලි කාල නිර් ණය කිරීමෙන් පසුවය.
ආදිමානවයා විසින් මේ දුනුහී තලහිස් තනා ගෙන ඇත්තේ වල් ඌරන්ගේ, ගෝණුන්ගේ හා ආදි වානරයන්ගේ අස්ථි කැබලිවලිනි. ඒ දුනු හී යොදා ගෙන ඇත්තේ අවම වශයෙන් වසර 45,000කට පෙර මෙහි වැසි වනාන්තරවල රැකවාසී සතුන් දඩයම් කිරීම පිණිස විය හැකි යැයි විද්‍යාඥයන්ගේ අදහසය.
තුරු වියනේ ඉහළ අතුපතරින් වේගයෙන් එහා මෙහා යන වඳුරන් හා ලෙහෙනුන් දඩයම් කිරීමට මේ උපක්‍රමය යොදා ගන්නට ඇතැයි විද්‍යාඥයන් විශ්වාස කෙරේ. මේ පිළිබඳව පර්යේෂණය කළ අන්තර්ජාතික විද්‍යාඥ කණ්ඩායම පෙන්වා දෙන්නේ මේ හී තල කොටස් යුරෝපයේ දැනට හමුවී ඇති මේ හා සමාන තාක්ෂණයට අදාළ ඒවාට වඩා බොහෝ පැරණි බවය.

මේවා හමු වී ඇත්තේ බුලත්සිංහල පිහිටි පාහියන් ලෙනෙහි කරන ලද කැනීම්වල දීය. ඒවාට අමතරව වළං කැබිලිති, සතුන්ගේ අස්ථිවලින් තැනූ විදුම් කටු ද එහි තිබී සොයා ගෙන තිබේ. ඒ විදුම් කටු, අලිස් කටුවලට සමාන වූ අතර ඒවා සාමාන්‍යයෙන් භාවිත කෙරෙන්නේ රෙදිපිළි හෝ මාළු දැල් විවිම සඳහාය.
ඒ බිමෙහි තිබී හමුවුණු අනෙක් කෞතුක භාණ්ඩ අතර පාට මිණි කැට අතුළ ඛනිජ ද්‍රව්‍ය, වර් ණවත් කිරි කවඩි ඇතුළු වෙරළෙන් ගෙනෙන ලද විවිධ අලංකාර ද්‍රව්‍ය ඇතුළත් විය.
ඉන්දියානු සාගරයේ ඉන්දියානු උපමහාද්වීපයට දකුණෙන් පිහිටි ශ්‍රී ලංකාද්වීපය දකුණු ආසියාවේ හෝමෝ සේපියන් නම් අපේ ආදීම මානවයාගේ පැරණිතම පොසිලවලට නිජබිම වූ බව ඒ ලෝක විද්‍යාඥයන්ගේ අධ්‍යයන වාර් තාවේ සඳහන් වෙයි.

මෙම අධ්‍යයනය අප්‍රිකාවෙන් පිට දුනුහී පාවිච්චි කළ බවට හා රෙදිපිළි තැනූ බවට පැරණිතම සාක්ෂි වසර 45,000ත් 48,000ත් අතර ඈත කාලයකට දිව යන බව හෙළිදරවු කරමින් ශ්‍රී ලංකාවට ඉමහත් ගෞරවයක් හිමි කර දී තිබේ.
ප්‍රක්ෂිප්ත තාක්ෂණයෙන් ලබා ගත් සාක්ෂි, පුද්ගලික අලංකරණය හා ඝර්මකලාපීය වැසි වනාන්තර තෙක් ආ අති දිගු ගමන වැනි කරුණුවලින් පෙනී යන්නේ ආදි හෝමෝ සේපියන් මානවයා ලෝකය පුරා ව්‍යාප්ත වෙද්දී විවිධ ආන්තික පරිසරවලට හැඩ ගැසීමට සමත් වූ බවය.

ඔවුන්ගේ සොයා ගැනීමවලට මුල් වූ පාහියන් ලෙන ප්ලය්ස්ටෝසීන යුගයේ අග භාගයේ මානව අස්ථි පොසිල ලෙසින් හමු වූ ස්ථානයකි. ඒවා සොයා ගනු ලැබුවේ 1960 ගණන්වල හා 1980 ගණන්වලදිය. ඉන්පසු දකුණු ආසියාවේ ඉතා වැදගත් පුරා විද්‍යා භූමියක් ලෙසට ප්‍රකට වු එම ස්ථානයෙන් ලබා ගත් මේ කෞතුක වස්තු සොයා ගනු ලැබුවේ 2009ත් 2912ත් අතර කරන ලද කැණීම්වලිනි.
අලුතින් ආරම්භ කරන ලද පර් යේෂණයේ දී මේ සියලුම කෞතුක වස්තු ස්ටීරියෝ මයික්රස්කෝපයකින් පරීක්ෂා කරනු ලැබුණි. ඒ මයික්‍රස්කෝපයට ඇක්සියෝකැම් 105 කැමරාවක් සවි කර තිබුණි. ඒ මගින් ඒවායේ මුල් පාවිච්චියේ දී කෙළින් ම ඇති වූ සීරීම් මතු කර ගත හැකිවිය.
‘අස්ථි පුපුරා ගිය තැන්වලින් පෙනී ගියේ ඒවා තද පහරවලට ලක් වීමෙන් ඇති වූ ඒවා බවයි. ඒවා සාමාන්‍යයෙන් ඇති වන්නේ දුනුහී යොදා ගෙන කරන සතුන් දඩයම් කිරීම්වලදියි.’ මේ ගවේෂණයට නායකත්වය දුන් මිචෙල් ලෑන්ලි පැහැදිලි කරයි. ඇය ඔස්ට්‍රේලියාවේ කවීන්ස්ලන්තයේ ග්‍රිෆිත් විශ්වවිද්‍යාලයට අනුබද්ධ මානව පරිණාමය පිළිබඳ පර්යේෂණ ආයතනයේ මහාචාර්යවරියකි.
‘මේ සොයා ගැනීම මීට කලින් මේ හා සම්බන්ධව සොයා ගෙන තිබුණු දකුණුදිග ආසියාවේ වසර 32,000ක් පැරණි වාර්තාවට වඩා පැරණියි. මෙය තමා දැනට සොයා ගෙන ඇති, අප්‍රිකා මහාද්වීපයෙන් පිට දුනුහී භාවිතය කළ බවට විද්‍යාත්මකව තහවුරු කළ පැරණිම වාර්තාව’ ඇය වැඩිදුරටත් කියා සිටී.
මේ මයික්‍රොස්කොපි තාක්ෂණය ම අනෙක් අස්ථි මෙවලම්වලටත් යොදා කරන ලද නිරීක්ෂණවලින් සොයා ගත හැකි වූයේ ලෙන අසල දියපාරවල මසුන් ඇල්ලීමටත් රෙදි හෝ දැල් විවීමටත් භාවිත කළ ඒවා විය හැකි බවය.
සිරුර ශීතලෙන් ආරක්ෂා කර ගැනීමට වඩා ලැබුණු සාක්ෂි අනුව පෙනී ගියේ රෙදි තනා ගනු ලැබ ඇත්තේ මදුරුවන්ගෙන් බෝ වෙන රෝගවලින් ආරක්ෂා වීම සඳහා යොදන වැස්මක් හැටියටය.
මේ පර් යේෂණය සඳහා ජර්මනිය, ඔස්ට්‍රේලියාව හා අප ශ්‍රී ලංකාව යන රටවල විද්‍යාඥයෝ බොහෝ දෙනෙක් එක් වූහ. ඒ අතර ඔස්ට්‍රේලියාවේ මිචෙල් ලෑන්ලි, පැට්රික් රොබට්ස්, ජර්මනියේ නොයෙල් අමානෝ, බනිකොලි බොයිවින්, මයිකල් ඩී. පෙට්‍රග්ලියා ආදී විද්‍යාඥයන් රැසක් වූ අතර ශ්‍රී ලංකාවෙන් එක් වූයේ ශිරාන් දැරණියගල, ඕෂාන් වෙදගේ, එම්. එම්. පද්මලාල් හා නිමල් පෙරේරා යන විද්‍යාඥයන් ඇතුළු පිරිසය.
ඩේලිමේල් ඇසුරිනි

