වසර 20 කට පසු නේපාලයේ මැතිවරණයක්



මාවෝවාදීන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා සහ ව්‍යවස්ථාවක් නොමැතිකම හේතුවෙන් දේශපාලන අර්බුද රැසකට මුහුණ දුන් නේපාලයේ පළාත් පාලන මැතිවරණය ආරම්භ විය.

නේපාලයේ මෙසේ පළාත් පාලන මැතිවරණයක් පැවැත්වෙන්නේ වසර 20 කට පසුවය. අවසන් වරට නේපාලයේ පළාත් පාලන මැතිවරණයක් පැවැත්වූයේ 1997 වසරේදීය.

මාවෝ ගරිල්ලන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් ඉන්පසු මැතිවරණ පැවැත්වීමට අවස්ථාවක් නොලැබිණි. 2006 දී මාවෝවාදීන් සහ නේපාල රජය අතරේ සාම ගිවිසුමක් ඇරැඹිණි.

එහි ප්‍රතිඵලයක් ලෙස අද වනවිට මාවෝවාදීන් අවි බිම දමා දේශපාලනයට පිවිස සිටී. නේපාලයේ වත්මන් අගමැති පුෂ්ප කමල්දාස් හෙවත් ප්‍රචණ්ඩා මාවෝවාදී ගරිල්ලන්ට නායක දුන් අයෙකි. අගමැති ප්‍රචණ්ඩා නේපාල ජනතාව අමතමින් පෙරේදා දිනයේ කියා සිටියේ රටේ ස්වෛරීත්වය සුරැකීම වෙනුවෙන් උදෑසනම ගොස් ඡන්දය ප්‍රකාශ කරන ලෙසටය.

අදියර කිහිපයකින් පැවැත්වෙන මෙම පළාත් පාලන මැතිවරණයේ පළමු වටයයි. දෙවැනි වටය ලබන 14 වැනිදාත් තෙවැනි වටය ජූනි 14 වැනිදාත් පැවැත්වෙයි. ඊයේ පැවැති මැතිවරණය සඳහා මිලියන 4.9 ක පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි බව ද වාර්තා විය.

(රොයිටර්)


RECOMMEND POSTS