වයිරසය සමඟ ජීවිතයට පුරුදු වෙන්න



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය සඳහටම ලොවෙන් තුරන් වී නොයනු ඇති බවත්, වයිරසයට අනුව ජීවිත හැඩ ගස්සා ගැනීමට අපට සිදුවනු ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනුවෙන් මෙසේ කියා සිටියේ, එම සංවිධානයේ හදිසි ආපදා කටයුතු සම්බන්ධ ප්‍රධානියා ලෙස කටයුතු කරන වෛද්‍ය මයික් රයන් ජිනීවා නුවර පැවැත්වුණු මාධ්‍ය හමුවට එක් වෙමිනි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලස්ථානය පිහිටා ඇත්තේ ස්විට්සර්ලන්තයේ ජිනිවා අගනුවරය.

‘කොවිඞ් 19 වයිරසය පාලනය කිරීමට අප සැමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවේවි. වයිරසයට එන්නතක් හෝ ඔසුවක් හෝ නිර්මාණය කිරීම මේ වනවිට ලහිලහියේ සිදුවෙනවා. එසේ වුවත් වයිරසය සඳහටම ලොවෙන් තුරන් වෙන්නේ නැහැ. ඒඞ්ස් රෝගය ඇති කරන එච්.අයි.වී. වයිරසය මෙන් සමාජගතව ‘කොවිඞ් 19’ පවතිනු ඇත. එපමණක් නොව, එය කලින් කලට යළි වසංගත තත්ත්වයක් තෙක් දුරදිග යෑමටත් පුළුවන්. වයිරසයෙන් ආරක්ෂාවීමට නම් අප හොඳ සෞඛ්‍ය පුරුදු පිළිපඳින්න ඕනෑ. පිරිසුදුව ඉන්න ඕනෑ’ යැයි වෛද්‍ය මයික් රයන් වැඩිදුරටත් පැහැදිලි කළේය.

ජිනීවාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS