වයිරසය ගැන නොදත් දේ දැනගත්තා

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ගැන තමන් නොදැන සිටි බොහෝ දේ දැනගත් බව වයිරසය ආසාදිතයකු ලෙස හඳුනා ගැනීමෙන් පසු රෝහල්ගත කළ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ට්විටර් ගිණුම හරහා වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත.
වෝල්ටර් රීඩ් හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටින ට්‍රම්ප් මේ වනවිට ට්විටර් ගිණුම ඔස්සේ, වීඩියෝ පණිවුඩ කීපයක් ප්‍රසිද්ධියට පත් කර තිබේ. ඒ, තමන් යහතින් සිටින බවත්, රාජකාරි දිගටම කරගෙන යෑමට සුදුසු තත්ත්වයක සිටින බවත් ඒත්තු ගැන්වීමටය.
ජනපති ට්‍රම්ප් කොරෝනා වයිරසය හඳුන්වන්නේ ‘චීන වයිරසය’ යනුවෙනි. ඒ, වයිරසයේ ආරම්භය චීනයේ වූහාන් නුවරින් ආරම්භ වුණු බැවිනි. වයිරසය සම්බන්ධයෙන් නිසි අනතුරු ඇඟවීම් නොකළා යැයි ට්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානයට චෝදනා කර තිබේ. ට්‍රම්ප් මැදිහත් වී, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඇමෙරිකාව ඉවත් කිරීමට පියවර ගත්තේ ද ඒ අනුවය.

කොරෝනා වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමට අසමත් වූ බවත්, මුහුණු ආවරණ පැලඳීම, සමාජ දුරස්ථභාවය රැක ගැනීම ආදී සෞඛ්‍ය නිර්දේශ ට්‍රම්ප් සමච්චලයට ලක් කළ බවටත් චෝදනා එල්ල වී තිබේ. ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 3 වැනිදා පැවැත්වෙන අතර, ඊට ඉදිරිපත් වන ට්‍රම්ප්ට ලොකුම අවාසිය වනු ඇත්තේ කොරෝනා වයිරසයයි.
ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා වන්නේ ඩිමොක්රටික් අපේක්ෂක ජෝ බයිඩන්ය.
බයිඩන් සහ ඔහුගේ බිරිඳ ජිල් අවස්ථා තුනකදී පීසීආර් පරීක්ෂණවලට යොමු කළ බවත්, ඔවුන් දෙදෙනාට කොරෝනා ආසාදනය වී නැති බවත් තහවුරු වී අවසන්ය.
වොෂින්ටනයේදීය (රොයිටර්)

